ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය මගින් ශ්‍රී ලංකා පකිස්තාන ද්වීපාර්ශ්වීය වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් පකිස්තාන මහකොමසාරිස් මේජර් ජෙනරාල් ශකීල් හුසේන් හා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සෆ්රාස් සිප්රා සමග හමුවක් සංවිධානය කර ඇති බව එම මණ්ඩලය නිවේදනය කරයි.
2016 අප්‍රේල් මස28 වැනි බ්‍රහස්පතින්දා නො.450, ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10 යන ස්ථානයෙහි පිහිටි ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී ප.ව. 3.00 සිට ප.ව. 04.30 දක්වා මෙරට ව්‍යාපාරික ප්‍රජාව වෙත මෙම අවස්ථාව උදාකර දී ඇති බවද එම මණ්ඩලය වැඩිදුරටත් පවසයි.
පකිස්තානය ස්වභාවික සම්පත්වලින් අනූන රටක් වන අතර ප්‍රධාන කර්මාන්තයන් ලෙස කෘෂිකර්මාන්තය, සහල්, පලතුරු, රෙදිපිළි සහ ඇඟලුම්, ඖෂධ, ආහාර සැකසුම්, ඉදිකිරීම් ආදී කර්මාන්ත දක්නට ලැබෙයි. මිලියන 199කට අධික ජනගහනයක් වෙසෙන පකිස්තානය ජනගහනය අනුව ලෝකයේ 06 වැනි රාජ්‍යයයි. එරට අගනගරය ඉස්ලාමාබාද් වන අතර කරච්චි, ලාහෝර්, රාවල්පින්ඩි අනෙකුත් ප්‍රධාන නගර වේ.
පොල්, රබර්, කොප්පරා, තේ, බුලත්, කුළු බඩු ආදිය ශ්‍රී ලංකාවෙන් පකිස්තානයට අපනයනය කරනු ලබන අතර සිමෙන්ති, කපු රෙදි, සහල් ,බෙහෙත් හා ආහාරයට ගන්නා තෙල් වර්ග ආදිය පකිස්තානයෙන් මෙරටට ආනයනය කරනු ලැබෙයි.
මෙම අවස්ථාවට ලියාපදිංචි වීම සඳහා 011-4741788 යන දුරකථන අංකය හා [email protected]; [email protected] යන විද්‍යුත් ලිපිනයන් ඔස්සේ ජාතික වාණිජ මණ්ඩලය හා සම්බන්ධ විය හැකිය.