ශ්‍රීලංකන් ගුවන් සමාගම 2017 ජූනි මස 01 වැනිදා සිට මියන්මාර් එයාර්වේස් ඉන්ටර්නැෂනල් හා එක්ව මියන්මාරයේ අගනගරය වන යැන්ගොන් වෙත සංකේත හුවමාරු ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයතු යොදා ඇති බව කියයි.
මේ අනුව ශ්‍රීලංකන් ගුවන් මගීන්ට මියන්මාර් එයාර්වේස් ඉන්ටර්නැෂනල් (MAI) මගින් බැංකොක් සහ සිංගප්පූරුව හරහා යැන්ගොන් වෙත සංචාරය කිරීමට ගුවන් පහසුකම් සැපයෙන අතර, මියන්මාර් එයාර්වේස් ඉන්ටර්නැෂනල් ගුවන් මගීන්ට ශ්‍රී ලංකන් විසින් මෙහෙයුම් සිදුකරන කොළඹ සහ සිංගප්පූරුව මෙන්ම කොළඹ සහ බැංකොක් අතර ගුවන් ගමන් සඳහා පහසුකම් සපයනු ලබන බව කියයි. මෙම ගුවන් ගමන් පාර්ශ්වතාවය මත ගුවන් මගීන්ට එක් ගුවන් ගමන් ප්‍රවේශ පතක් තුළින් පහසු ගමන් මලු සේවාව හරහා සංචාරය කිරීමට හැකියාව ලැබෙන බවද ඔවුහු වැඩිදුරටත් පවසති.