ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2018 අප්‍රේල් මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි එයාර් සීෂෙල්ස් (Air Seychelles) ගුවන් සමාගම සමග විශේෂ ගුවන් සබඳතා ගිවිසුමක් වෙත පසුගියදා එළඹ තිබේ. මෙම නව ගිවිසුම මගින් ගුවන් මාර්ග ජාලය වැඩිදියුණු කර ගුවන් සමාගම් දෙකෙහිම ගුවන් මගීන්ට සංචාරක අවස්ථා රැසක් සුවපහසු ආකාරයෙන් ලබාදීමට ගුවන් සමාගම අපේක්ෂා කරයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා සඳහන් කළේ මෙමගින් ගුවන් සමාගම් දෙකටම වාසිදායක තත්ත්වයක් අත්වන බවයි. මේ සමග ශ්‍රී ලංකන්හි ගුවන් මගීන්ට සීෂෙල්ස් හරහා දකුණු අප්‍රිකාව, මොරිෂස් සහ මැඩගස්කරය ඇතුළු නව ගමනාන්ත තුනක් සඳහා ගුවන් පහසුකම් සැලසෙනු ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය. ඊට සමගාමීව එයාර් සීෂෙල්ස්හි පාරිභෝගිකයන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා ඉන්දියාව සහ ඈතපෙරදිග ගමනාන්ත වෙත ගමන් කිරීමට මෙමගින් හැකියාව ලැබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.