ශ්‍රී ලංකාවේ ශ්‍රම බල ඉල්ලුම පිළිබඳ සංඛ්‍යාති පිළියෙළ කිරීම සඳහා ප්‍රථම වරට පෞද්ගලික හා අවිධිමත් ශ්‍රම බල ඉල්ලුම පිළිබඳ සමීක්ෂණයක් ජූලි මාසයේදී පැවැත්වීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.
මෙම සමීක්ෂණය සඳහා ආයතන 3,500ක විදිමත් නියදි තේරීමේ තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව තෝරාගෙන ඇති බවත්, එසේ තෝරාගත් ආයතන වෙත ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විස්තරාත්මක දත්ත රැස්කිරීමට පැමිණෙනු ඇති බවත් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
වැඩි වශයෙන් පුරප්පාඩු පවතින්නේ කවර රැකියා ක්ෂේත්රවලද, ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් මොනවාද, එම සුදුසුකම් සපුරාලීමට දැනට පවතින රජ්‍ය හා පෞද්ගලික අධ්‍යාපන ආයතනවල දායකත්වය කෙබඳුද, අනාගත අපේක්ෂිත බඳවා ගැනීම් පිළිබඳ පුරෝකථන, එක් එක් රැකියා කාණ්ඩ යටතේ දැනට පවතින වැටුප් පරිමා ආදිය පිළිබඳව මෙහිදී තොරුතුරු එක්රැස් කෙරෙන බව පවසයි.