කොටස් වෙළෙඳ පොළ ආයෝජනය යනු දිගුකාලීන ඉහළ ප්රතිලාභ සහිත ආයෝජනයකි. කොටස් වෙළෙඳ පොළ තුළ ලැයිස්තුගත කර ඇති සමාගම්වල ආයෝජනය කරන්නෙකුට විවිධ ප්රතිලාභ ලබාගත හැකි බව අපි පසුගිය ලිපි මගින් පෙන්වා දුන්නෙමු. කොටස් ආයෝජනය මෙන් ආයෝජකයන්ට දිගුකාලීන විශේෂ ආයෝජනයක් වශයෙන් ඒකක භාර හෙවත් යුනිට් ට්‍රස්ට් පෙන්වා දිය හැකිය. ඒ පිළිබඳව ඔබව දැනුම්වත් කිරීම මෙම ලිපියේ අරමුණ වන අතර, ඒ හා සම්බන්ධ කරුණු ඉතා සරලව ඔබ වෙත ගෙන ඒමටද මෙයින් බලාපොරොත්තු වෙමු.
ඒකක භාර ආයෝජනය යනු,
ආයෝජකයන්ගෙන් එක්රැස් කරගත් මුදල්වල එකතුවක්, විවිධ වත්කම්වල ආයෝජනය කර ඒ හරහා ලැබෙන ප්රතිලාභ එම අරමුදලෙහි ආයෝජකයන්ට නැවත බෙදාදීමේ සරල ක්‍රමයක් ලෙස ඒකක භාර ආයෝජනය ලෙස පෙන්වා දිය හැකිය.
ඒකක භාරවල මූලික ලක්ෂණ
• ආයෝජකයන්ගෙන් එක්රැස් කරගත් මුදල්වල එකතුවක් (අරමුදලක්)
• ඒකක අලෙවි කිරීම හරහා එක්රැස් කරගත් අරමුදලක්
• මෙසේ එක්රැස් කරගත් අරමුදල විවිධ වත්කම්වල ආයෝජනය කරනු ලබයි. (ආයෝජන කළඹක)
• වත්කම් බෙදා හැරීම තීරණය කරනු ලබන්නේ අරමුදල්වල අරමුණ මතය
• ආයෝජන තීරණ ගනු ලබන්නේ අරමුදල් කළමනාකරණ සමාගමයි
• ආයෝජකයන්ගේ අයිතිවාසිකම් ස්වාධීන භාරකරුවෙක් මගින් සිදු කෙරෙයි
ඒකක භාර ආයෝජනය අපට වැදගත් වන්නේ ඇයි?
ඒකක භාර අයත් වනුයේ ප්‍රග්ධන වෙළෙඳ පොළ ආයෝජන ක්‍රම අතරටය. ප්‍රාග්ධන වෙළෙඳ පොළක් කිසියම් රටක් තුළ විශාල කාර්යභාරයක් උසුලයි. ආර්ථිකයක් තුළ නිෂ්පාදනය ඉහළ නැංවීමට, සේවා නියුක්තිය ඉහළ නැංවීමට, පුද්ගලයන්ගේ ආදායම් මට්ටම් ඉහළ නංවා ගැනීමට මෙන්ම ඔවුන්ට හොඳ ජීවන මට්ටමක් පවත්වාගෙන යාමටද ප්‍රාග්ධන වෙළෙඳ පොළ උපකාරී වේ. මෙකී සියලු පැතිවලින් දියුණුවක් ලබන විට රටක් ස්වභාවයෙන්ම ආර්ථික සංවර්ධනය වෙතද පියමන් කරනු ඇත.
ඒ අනුව, ගත්විට ඒකක භාර ආයෝජනයද වර්තමානයේදී අප වඩාත් දියුණු යැයි සලකන රටවල්වල ආර්ථිකයන් තුළ ප්‍රබල දායකත්වයක් ලබාදී ඇත. අද වනවිට ඒකක භාර ආයෝජනය දියුණු මෙන්ම දියුණු වෙමින් පවතින ආර්ථිකයන් තුළ ව්‍යාප්ත වෙමින් පවතින අතර, එය ප්‍රාග්ධන වෙළෙඳ පොළට මෙන්ම ආර්ථිකයකටද එකසේ වැදගත් වේ.
තවද, කිසියම් පුද්ගලයෙකුට බැංකුවල මුදල් තැන්පත් කිරීම හෝ ස්ථාවර වත්කම් හරහා ලැබෙන ප්‍රතිලාභය අඩු නම් එවැනි ආයෝජකයන් දිගු කාලීන ඉහළ ප්රතිලාභ ලැබෙන ආයෝජන මාර්ග වෙත ක්‍රමයෙන් මාරු වීමක් දැකගත හැකිය. ඉන් කියැවෙනුයේ ඉතිරිකිරීම්වල වර්ධනය සිදුවන්නේ තරමක් මන්දගාමීව බවයි. මේ නිසා ඒකක භාර මගින් ආයෝජකයන්ට ප්‍රාග්ධන වෙළෙඳ පොළ තුළින් ප්රතිලාභ ලැබීමට අවස්ථාවක් උදාකර දෙයි.
ඒකක භාර ආයෝජනයේ ඉතිහාසයෙන් බිඳක්
ප්‍රාග්ධන වෙළෙඳ පොළ ආයෝජන ක්‍රමයක් ලෙස ඒකක භාර ලොව බොහෝ රටවල ක්‍රියාත්මක වුවද ශ්‍රී ලංකාව තුළ එය ජනතාවට හඳුන්වා දෙනු ලැබුවේ 1991 වසරේදීය. 1991 අංක 26 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනතට නව සංශෝධනයක් එක්කරමින් පාර්ලිමේන්තුව විසින් එය ජනතාවට වඩා උචිත ආයෝජන මාර්ගයක් ලෙස හඳුන්වා දීමට අවසර ලබාදෙනු ලැබුවේ 1991 වසරේදීය. ඒ අනුව, 1992 වසර වනවිට ඒකක භාර සමාගම් 4ක් දැකගත හැකි වූ අතර, සීබෑන්ක් ඒකක භාර, නාමල් ඒකක භාර, කොම්ට්රස්ට් ඒකක භාර සහ එන්.ඩී.බී ඒකක භාර එම මුල්ම ඒකක භාර සමාගම් කිහිපයයි. මෙම සියලුම ඒකක භාර අරමුදල් මිශ්‍ර අරමුදල් වීම එහි වූ විශේෂත්වයකි.
1991 සහ 1992 යන වසරවලදී රජය මගින් ඒකක භාර කර්මාන්තය සඳහා ලබාදුන් විශේෂ සහන ප්‍රයෝජනයට ගනිමින් පසු කාලීනව තවත් ඒකක භාර කළමනාකරණ සමාගම් කර්මාන්තය වෙත ප්රවිශ්ඨ වන ලදී. වසර 30ක් වැනි විශාල කාලයක් තුළ වූ යුදමය වතාවරණයේ අවසානය වූ 2009 වසර මැද භාගය වනවිට ඒකක භාර කළමනාකරණ සමාගම් 5ක් ස්ථාපිතව පැවති අතර, එම සමාගම් මගින් ආරම්භ කරනලද අරමුදල් සංඛ්‍යාව 16ක් විය. වර්තමානය වනවිට ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙන් බලපත්‍ර ලබාදී ඇති ඒකක භාර කළමනාකරණ සමාගම් සංඛ්‍යාව 14ක් වන අතර, එම සමාගම් මගින් ස්ථාපිත කර ඇති ඒකක භාර අරමුදල් සංඛ්‍යාව 76කට වඩා වැඩි ප්රමාණයකි.
මෙම සියලුම ඒකක භාර සමාගම් ශ්‍රී ලංකාව තුළ ඉතා ජනප්‍රිය ප්‍රධාන පෙළේ සමාගම්වල උප සමාගම් වශයෙන් ක්‍රියාත්මක වන බවද ඔබ මතක තබාගත යුතු වැදගත් කරුණකි.
මේ වනවිට වසර 5ක ඉතිහාසයක් ශ්‍රී ලංකාවේ ඒකක භාර කර්මාන්තයට තිබුණද රටේ සමස්ත ජනගහනයෙන් ඒකක භාරවල ආයෝජනය කර ඇති ආයෝජකයන් සංඛ්‍යාව ලෙස තවමත් වාර්තාගත වී ඇත්තේ 41,000කට ආසන්න ප්රමාණයකි. මෙම මන්දගාමී වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු පාදක වී ඇත්තේ ඒකක භාර පිළිබඳ ජනතාව තුළ ඇති දැනුවත්භාවය අඩුකම සහ ප්‍රාදේශීය මට්ටමින් ආයෝජනයට සම්බන්ධ වීමට ඇති පහසුකම් (Distribution Channels) ප්‍රමාණවත් නොවීමය.
තවත් කොටසක් මීළඟ ලිපියෙන්...