වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වැඩ මේ වසරේදී වැඩි ප්‍රමාණයක් බාහිර ආයතනවලට ලබාදිය යුතු බවත්, එසේ ලබාදෙමින් වැඩි ඵලදායීතාවක් පවතින්නේ කොතැනද යන්න සොයා බැලිය යුතු බවත්, වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා සිටියේය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද රට පුරා විශාල සංවර්ධන වැඩ කොටසක් ඉටු කළත්, ඒවා සඟවාගෙන කිරීමේ ගතානුගතික ආකල්පය නිසා දෙපාර්තමේන්තුවේ වැඩ කැලෑවට හඳ පෑව්වා වගේ යැයිද මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉදිකිරීම් සහ වාරි පද්ධති ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කිරීමට රු.කෝටි දහයක වටිනාමකින් යුතු ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ හා බර වාහන 20ක් වාරිමාර්ග කලාප කාර්යාලවලට බෙදාදීම වෙනුවෙන් පැවති උත්සවයේදී හෙතෙම මේ බව පැවසීය.
මෙහිදී කැනීම් යන්ත්‍ර 06ක්, පස් තලන යන්ත්‍ර 11ක්, පස් පැටවුම් යන්ත්‍ර 04ක් ඇතුළු විවිධ ඉදිකිරීම් යන්ත්‍ර 20කට ආසන්න ප්‍රමාණයක් සියලුම දිස්ත්‍රික් වාරිමාර්ග කාර්යාලවලට බෙදා දෙනු ලැබීය.
"මම ලබාදුන් හැම අමාත්‍යාංශයකම හොඳට වැඩ කරන ඇමතිවරයෙක් ලෙසයි කවුරුත් හඳුන්වන්නේ. ඒ ප්‍රතිරූපය නැති කරගන්න මා සූදානම් නැහැ. මට ලැබුන අවස්ථාවෙන් රටට ජනතාවට වැඩකරන්න මට අවශ්‍යයි. ඒ නිසා මේ වසරේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්රතිසංවිධානයක් කරනවා. හැම කාර්යාලයකටම වැඩබිමකටම පරීක්ෂා කරන්න මම යනවා. දෙපාර්තමේන්තුවේ තියෙන ගතානුගතික ආකල්ප හා වැඩරටාව වෙනස් වෙන්න ඕනෑ. ටෙන්ඩරයක් දාන්න මාස අටක් යනවා. කලාපයකින් ඇස්තමේන්තුවක් ආවහම ඒක අනුමත කරන්න මාස ගාණක් යනවා. එතකොට අවුරුද්දෙන් බාගයක් ගිහින් ඉවරයි. ජනාධිපතිතුමා මේ අවුරුද්දෙත් අපිට විශාල මුදලක් වාරි සංවර්ධනයට ලබාදී තිබෙනවා. ඒ මුදල් කඩිනමින් වැයකරලා වැඩ අවසන් කළ යුතුයි. ඒ වගේම යන්ත්‍රෝපකරණ ගන්න කොට වැඩබිමට අත්‍යවශ්‍ය මොනවද කියා නිවැරදි තක්සේරුවක් නිලධාරීන්ට තිබිය යුතුයි. මේ ලොකු වාහන එකක් අඩුකරලා පොඩි යන්ත්‍ර කිහිපයක් ගන්න තිබුණා. මොකද වැඩබිම්වලට ඇත්තටම අවශ්‍ය පොඩි යන්ත්‍රයි. මේවා වෙනස් වෙන්න මේ දෙපාර්තමේන්තුවේ පරිපාලන රටාව වෙනස් කළ යුතුයි. වාරිමාර්ගයේ වැඩ මේ වසරේදී වැඩි ප්‍රමාණයක් බාහිර ආයතනවලට ලබාදිය යුතුයි. එසේ ලබාදෙමින් වැඩි ඵලදායීතාවක් ඇත්තේ කොතනද කියා අපි බැලිය යුතුය. ඒ තුළින් දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති වැඩ අඩු කරගැනීමට පුළුවන්. ඒවගේම ලැබෙන මූල ධනයෙන් උපරිම ඵලදායීතාවක් ලබාගන්න අපි වැඩ කළ යුතුයි. මේ හැම යන්ත්‍රයකම ඵලදායීතාවය බැලීමට වැඩ විගණනය කළ යුතුයි. එක යන්ත්‍රයක් සතියකට පැය කීයක් වැඩ කරනවාද කියා විශේෂ සටහන් යොදා පරීක්ෂා කර බැලිය යුතුයි. ඒවගේම රියදුරන් මේවා ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතුයි. ගිය වසරේ වාහන 54 ක් හදිසි අනතුරුවලට ලක් වී තිබෙනවා. ඒත් එකම එක රියදුරෙකුවත් වැඩතහනම් කර නැහැ. ඒ අය පඩි, ඕ.ටී., බටා දිගටම ගන්නවා. මේ වසරේ එවැනි අනතුරු කරන රියදුරන් වහාම වැඩ තහනම් කළ යුතුයි. මෙවැනි වෙනස්කම් නොකර මේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ආකල්ප වෙනස් කරන්න බැහැ" යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් අයිවන් සිල්වා මහතා , වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල් භද්‍රා කමලදාස මහත්මිය ද එක්වූහ.