රබර් ආශ්රිත නිෂ්පාදන කර්මාන්තයේ ඉහළ අගය එකතු කිරීමක් වෙනුවෙන් වන පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා ආයෝජනය කිරීමෙන් වැඩි විදේශ විනිමයක් ඉපැයීමට හැකියාව ඇති බව ජාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ රබර් හා රබර් ආශ්රිත නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සහ අපනයනකරුවන්ගේ හමුවක් අමතමිනි. මෙම ක්ෂේත්රයේ ප්‍රවර්ධනය උදෙසා සැකසෙන ක්‍රියාකාරී සැලැස්මට අදාල නිෂ්පාදකයන් හා අපනයනකරුවන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීම එම හමුවේ අරමුණ වී තිබුණි.
පසුගිය සමය පුරා වැඩි වැඩියෙන් රබර් අපනයනය කළත් ඊට සාපේක්ෂව ආදායම් වර්ධනයක් නොපෙනීමට හේතුව අගය වැඩිකළ නිෂ්පාදන වෙත අවතීර්ණ නොවීමේ ප්‍රතිඵලයක් බවද අමාත්‍ය සේනසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
රබර් හා රබර් ආශ්රිත නිෂ්පාදන කර්මාන්තයේ ඉහළ අගය එකතු කිරීම වෙනුවෙන් වන පර්යේෂණ හා සංවර්ධන අංශයට වැඩි අවධානයක් යොමුකරන ලෙසත්, ඒ සඳහා සැලකිය යුතු ආයෝජනයක් කිරීම මගින් වැඩි විදේශ විනිමයක් ඉපැයීමට අවස්ථාව හිමිවන බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.
චීනයට රබර් අපනයනය කිරීමේදී අයකරනු ලබන 15% ක බද්ද හේතුවෙන් මෙරට අපනයන කර්මාන්තයට අවාසිදායක තත්වයක් පවතින බව මෙහිදී අපනයනකරුවන් විසින් අමාත්‍යවරයා දැනුම්වත් කරන ලදී. ඔවුන් තවදුරටත් කියා සිටියේ, චීනයට රබර් අපනයනය කරන සෙසු රටවල් වන වියට්නාමය, තායිලන්තය හා ඉන්දුනීසියාවේ එවැනි බදු පැනවීමක් නොකරන බැවින් එම රටවල් හා තරගකාරීව අපනයනය කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැති බවය.
එමෙන්ම, GSP+ බදු සහනය හා යෝජිත චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම වැනි වාසිදායක වෙළෙඳ අවස්ථා කඩිනම් කිරීමෙන් මෙරට රබර් අපනයන කර්මාන්තයට වැඩි ඵල නෙලා ගත හැකි බවද ඔවුහු පෙන්වා දුන්හ. ශ්‍රී ලංකා රබර්වල විශිෂ්ඨත්වය (Excellence) සුරැකීම උදෙසා යම් වැඩපිළිවෙළක් දියත් කරන ලෙසද අපනයනකරුවන් මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටි අතර, අදාළ ඉල්ලීම් රජයේ අවධානයට යොමුකර සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය අමාත්‍ය සේනසිංහ මහතා මෙහිදී අපනයනකරුවන්ට පොරොන්දු විය.