රටේ සමස්ත බදු ආදායම රු.බිලියන 1,320ක් බවත්, ගෙවීමට ඇති ණය පොලී පමණක් රු.බිලියන 1,400ක් බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
මුදල් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ පසුගියදා කොළඹදී පැවති උත්සවයක් අතරතුරදීය. එහිදී, වැඩිදුරටත් අසහස් දැක්වූ අමාත්‍යවරයා,
"2005 දී අපේ රටේ සමස්ත ණයබරතාව රු.බිලියන 1,750 යි. එදා පාලනයෙන් යහපාලන රජය රට භාරගන්නා විට රු.බිලියන 9,980 යි. ඒ කියන්නෙ පස් ගුණයක වැඩිවීමක්. ප්රජාතන්ත්රවාදී ලෙස පත්වූ ආණ්ඩුවක් විදියට මේ ණය ගෙවන්නෙ නැහැ කියා ඉන්න අපට බැහැ. අපි මේව ගෙවන්න ඕනෙ. රටේ සමස්ත බදු ආදායම රු.බිලියන 1,320 යි. ගෙවන්න තියෙන පොලිය විතරක් රු.බිලියන 1,400 යි. ආදායම මදි වියදම් කරන්න. අපි වැට් බද්ද 4% කින් වැඩි කළේ තෝරාගත් දේවල් වෙනුවෙන් විතරයි. නමුත් මාධ්‍යවල දැම්ම හැම දේටම කියල. අපට කෙටි කාලෙකට අවස්ථාව දෙන්න මේ දේවල් විසඳන්න. අවුරුදු එක හමාරක් යන්න කලින් මේ රට, ජනතාවට ජීවත් වෙන්නට හැකි වාතාවරණයක් අපි සකස් කරනවා.
අපේ රටේ ඉන්නවා ජනතාව ලක්ෂ 210 ක් සිටිනවා. නමුත් බදු ගෙවන්නන්ගේ ලිපිගොනු තියෙන්නෙ 28,000 යි. අපට ලැජ්ජාවක් ඇති වෙන්නෙ නැද්ද? ලෝකෙයේ නවීන පන්නයේ වාහනවල යනවා. නමුත් ඒ අයට බදු ලිපි ගොනුවක්වත් නැහැ.* යැයි පවසා සිටියේය.