Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
රටේ පවතින්නේ දේශපාලන අස්ථාවරත්වයකි. එක් පසෙකින් පවතින රජයේ වෙනසක් සිදු නොවන බව එක් පාර්ශ්වයක් කියද්දී, තවත් පාර්ශ්වයක් පැවසුවේ සංයුතියේ වෙනසක් පමණක් සිදුවන බවකි. එමෙන්ම, නව රජයක් බිහිවීම පිළිබඳවද විවිධ පාර්ශ්ව අදහස් දැක්වූහ. මේ සියලු අර්බුද මැද ජාත්‍යන්තර බලවේගයන්ද මේ අර්බුදයට මැදිහත්ව ඔවුන්ගේ න්‍යාය පත්‍ර දිගහැරීමට මාන බලති. මේ සියලු හැලහැප්පීම් මැද රටේ ආර්ථිකය යම් අභාග්‍යසම්පන්න ඉරණමක පවතින බව රටේ වගකිවයුතු ආයතන හා පුද්ගලයන් විසින්ම මේ වනවිට සිදුකරන ප්‍රකාශවලින් තහවුරු වී ඇත. බැඳුම්කර වංචාව, ණය අර්බුදය, රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම, කොටස් වෙළෙඳ පොළ කඩාවැටීම, ආයෝජකයන් රට දෙස නොබැලීම ආදී මෙකී නොකී සියලු අර්බුදවලින් අවසානයේදී බැට කන්නේ රටේ සාමාන්‍ය මහජනතාව මිස, ඔවුන්ගේ ඡන්දයෙන් බලයට එන දේශපාලඥයන් නොවන බව ජනතාව තේරුම්ගෙන හමාරය. ජාතියක් ලෙස අපට ස්ථිර දේශපාලන හා ආර්ථික දර්ශනයක අවශ්‍යතාව පැනනැගී ඇති මේ මොහොතේ, රටේ උද්ගතව ඇති වාතාවරණය සම්බන්ධයෙන් 'අද ව්‍යාපාරික පිටුව' සමග අදහස් දැක්වීමට එක්වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතාය.
රටේ ආර්ථිකයේ යහපත් පැත්තට වඩා, ඇයි මේ නිලධාරීන් අයහපත් පැත්ත ගැනම කතා කරන්නෙ...
හේතුව, මේ රට ඉතා දැවැන්ත ආර්ථික අර්බුදයක ගිලී ඇති නිසයි. මේ ආර්ථික අර්බුදය පැන නැගුනේ මෑතකදී පැවති මැතිවරණයෙන් පසුව නොවෙයි. එය දිගින් දිගටම පසුගිය වසර තුනක කාලය තුළදී වර්ධනය වෙමින් පැවතුණා. ඒ තත්ත්වය මේ මැතිවරණයෙන් පසුව, රටේ සිදුවූ දේශපාලනික අර්බුදය නිසා තවදුරටත් උග්‍ර වුණා. මෙවැනි අවස්ථාවලදී රටක මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය වගේ ආයතන එය පාලනය කිරීමට කටයුතු කළ යුතුයි. ඒ නිසා තමයි, එවැනි තත්ත්වයන්ට මුහුණදීලා ඒවා පාලනය කිරීමට මහ බැංකුව ස්වාධීනව පත්කරල තියෙන්නෙ. මෙවැනි පසුබිමක මහ බැංකුවේ රාජකාරිය වන්නේ, ඊට අවශ්‍ය වන පිළියම් යොදලා, ආයෝජකයන්ට යම් ආකාරයකට විශ්වාසය ගොඩනැගෙන ආකාරයට කතා කරලා, ඒ තත්ත්වය පාලනය කර ගැනීමයි. මහ බැංකුවෙන් බලාපොරොත්තු වන්නේ එයයි. එසේ නොමැතිව මහ බැංකුවත් බයවෙලා, දෙගිඩියාවකින් කටයුතු කරන්න ගියොත් සිදුවෙන්නෙ මේ අස්ථාවරභාවය රටේ ආර්ථිකයට තවදුරටත් බලපාන ආකාරයේ තත්ත්වයක් ඇති වීමයි. ඉතින් එවැනි තත්ත්වයක් අද අපි දකිනවා. එය බොහොම කනගාටුදායක තත්ත්වයක් බව මගේ හැඟීමයි.
ඉදිරියේ ණය ගෙවාගැනීම සම්බන්ධයෙන් රට ණය අර්බුදයක දැයි ජනතාවට ලොකු ප්‍රශ්නයක්...
සාමාන්‍යයෙන් ණය මුදලක් ගත්විට ණය ගෙවීමේ හැකියාව තමයි, ණය ලබාදෙන අය බලන්නෙ. 2014 වනවිට ශ්‍රී ලංකාවේ ණයබරතාව අපේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 71%කට අඩුකර ගැනීමට අපට හැකියාව ලැබුණා. ඒ කියන්නෙ, අපිට මේ ණය ගෙවාගැනීම පිළිබඳව එවකට රජයේ විපක්ෂ නායකවරයා සහ ඔහුගේ ගෝලබාලයන් හැරෙන්නට කිසිම කෙනෙක් ප්‍රශ්නයක් ඇති කළේ නැහැ. කිසිම ආයෝජකයෙක් ඒ ගැන කිසිම ප්‍රශ්නයක් මතු කරලා තිබුණෙත් නැහැ. මොකද ඒ වෙද්දි එවැනි ප්‍රශ්නයක් සැබෑවටම තිබුනේ නැහැ. ඒ වුණත් වත්මන් රජය පසුගිය වසර 03ක කාලය තුළදී ණය අරගෙන, ණය පාලනය කරගැනීමට නොහැකිව, පොලී අනුපාත වැඩි කරගෙන සෑම අංශයකින්ම එය අවුල් කරගෙන කිව්වොත් මා නිවැරදියි. ඒ නිසා අද වනවිට අපේ ණයබරතාව දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 85%ක් ඉක්මවා ගිහිල්ලා. ඒ කියන්නෙ, අපි ඉතාම අසීරු තත්ත්වයකට පත්වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයෙන් අපිට ගැලවෙන්න පුළුවන්. ඒ වුණත්, ඉන් ගැලවෙන්නට නම්, අපි ආයෝජකයන් තුළ විශ්වාසය ගොඩනගා ගෙන, ඒ අයට බියක් ඇති නොවන ආකාරයට ප්‍රකාශ නිකුත් කරමින්, ඔවුන්ට පවතින ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් කටයුතු කිරීම අවශ්‍යයි. නමුත් අද එවැනි දෙයක් සිදුවෙන්නේ නැහැ. අපි දකිනවා ජනාධිපතිවරයා වගකීමකින් තොරව ප්‍රකාශ නිකුත් කරනවා. තවත් මැති ඇමතිවරු ප්‍රකාශ නිකුත් කරනවා. අපිට ණය ගෙවාගන්න බැරිවෙන තත්ත්වයක් තියෙනව කියල අගමැතිවරයා කියනවා. පසුගියදාක මම දැක්කා මහ බැංකු අධිපතිවරයා කියනවා, අපිට තව අවුරුදු ගණනාවක් යනතුරු ණය ගෙවාගන්න බැරිවෙන අවදානම් තත්ත්වයක් තියෙනව කියලා. දැන් මෙහෙම කිව්වාම, කවුද අපිට ණය දෙන්නෙ.
ඔබට ණය මුදලක් ලබාගන්න අවශ්‍ය නම්, බැංකුවට ගිහිල්ල බැංකුවේ කළමනාකාරවරයාට පැහැදිලි කරල දෙන්නෙ, මට මේ ණය ගෙවන්න පුළුවන්, මගේ මෙවැනි ආදායම් මාර්ග තියෙනවා, එහෙම මට ගෙවාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා, ආදී වශයෙනුයි. එසේ නොමැතිව, අනේ මට ණය ගෙවාගන්න බැරිවෙයි, මගේ ආදායම කඩාවැටිලා, මගේ ආයතනයේ ඉන්න ඔක්කොම හොරු, ආදී වශයෙන් බැංකුවේ කළමනාකාරවරයාට ගිහිල්ල කිව්වොත්, ඔබට ණය ලැබෙයිද? කවුද ඒ වගේ කෙනෙකුට ණයක් දෙන්නෙ? මේ රජයයි, මේ රටේ ඉන්න වර්තමාන නායකයන් ඒ වගේ මෝඩ වැඩ කරල, මේ රට ඉතා විශාල ණය අර්බුදයකට තල්ලු කරගෙන යනවා. ඉතිං අපි මේ තත්ත්වය කෙසේ හෝ වෙනස් කරගත්තෙ නැත්නම්, වැඩි කාලයක් ගතවෙන්න කලින් ඔය කියන කතාවම සිදුවෙනවා. ඕකට ඉංග්‍රීසියෙන් හොඳ කියමනක් තියෙනවා, 'You suffer from what you prophecies' කියලා. ඒ කියන්නෙ, අපි කියන අනාවැකිවලින් අවසානයේ ඒ දෙයම සිදුවීමයි. ඉතිං අද මේ රටේ සිදුවෙන්නෙත්, මේ කට්ටිය දිගටම මේ රටේ ඉරණම භාරගෙන කටයුතු කළොත්, අපිට ණය ගෙවාගන්න බැහැ කියල කියන කතාව අනිවාර්යයෙන්ම සිදුවීමයි.
රුපියලේ අගය දිගින් දිගටම අවප්‍රමාණය වීම ඉතිහාසයේ වැඩිම අගයක් කිව්වොත්...
රුපියලේ අගය යම් ආකාරයකට පාලනය කර ගැනීමයි, රුපියලේ අගය වැටෙන්නෙ නැති වෙන්න කටයුතු කිරීමයි, රජයේ මූලික වගකීමක් වෙනවා. ඒ වගකීම සෘජුවම භාරදීල තියෙන්නෙ ශ්‍රී ලංකා මහ බැංකුවට වුණාට, ඒ වගකීම ඉටු කරද්දි, අනෙකුත් පාර්ශ්ව සමග කටයුතු කරගෙන ඒ වගකීම ඉෂ්ට කරගැනීම රජයේ සියලු පාර්ශ්වවල වගකීමක් වෙනවා. ඔබ අප අත්වින්ඳ, පසුගිය රජයේ වසර 09ක කාලය තුළදී, රුපියලේ අගය වසරකට 03%කටත් වඩා අඩු ප්‍රමාණයකින් තමයි, සාමාන්‍යයක් වශයෙන් අවප්‍රමාණය වුණේ. ඒ නිසා අපට ණය පාලනය කරගැනීමට පුළුවන් වුණා. අපේ රටේ විශ්වාසය ගොඩනගා ගැනීමට අපට පුළුවන් වුණා. අපේ රුපියල ගැන ආයෝජකයන් පමණක් නොවෙයි, රටේ ජනතාවටත් යම් ශක්තියක් ඇති වුණා. ඒ සියලු දේ සමග අපේ ණයත් පාලනය වුණා. නමුත්, මේ පසුගිය වසර තුන තුළදී 20%කින් පමණ රුපියලේ අගය අවප්‍රමාණය වෙලා. මෙය දැන් පාලනය කරගැනීමට නොහැකි තත්ත්වයක් අපට පෙනී යනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන විදියට, අනෙකුත් අය නටන්න කියන විදියට අපි දැන් නටමින් යනවා. ඉතිං මේ නැටීමෙන් සිදුවෙන්නෙ අපේ රටට විශාල ණය අර්බුදයකටත් මුහුණ දීමට සිදුවීමයි. ඒ වගේම, විශ්වාසය කඩාවැටීම නිසා සමස්ත ආර්ථිකයටම විශාල අර්බුදයකට මුහුණදීමට සිදුවීමයි. ඉතිං මේ තත්ත්වය එක දවසින් සිදුවූ දෙයක් නොවෙයි. රටේ වර්තමානයේ ඇතිවී තිබෙන දේශපාලන අස්ථාවරභාවය හේතු කොටගෙන මේ තත්ත්වය උග්‍රවෙලා තිබුණත්, බොහෝ ආයෝජකයන් රට තුළින් මුදල් අරගෙන පිටතට යන්න පටන් ගත්තෙ අද ඊයේ නොවෙයි. ආයෝජකයන් රටෙන් මුදල් අරගෙන යන තත්ත්වය සිදුවෙන්න පටන් ගත්තෙ, මහ බැංකුවේ බැඳුම්කර වංචාව සිදුවූ දවසේ සිටයි. ඒ කාලයේ සිට මෙය සිදුවෙමින් පැවතියා. දැන් මේ තත්ත්වය උග්‍රව තියෙනවා. මේ උග්රවීම දිගින් දිගටම සිදුවෙමින් පවතින බවත් අපට පෙනී යනවා.
යම්කිසි කෙනෙක් යම් ආයතනයක හෝ රටක මුදලක් ආයෝජනය කරන්නෙ විශ්වාසය මතයි. ඔබ ගිහිල්ල යම් මූල්‍ය ආයතනයක මුදල් ආයෝජනය කරනවා නම්, ඔබට ඒ ආයතනය ගැන යම් විශ්වාසයක් පැවතිය යුතුයි. ඒ වගේ තමයි, පිට රට ඉඳන් අපේ බැඳුම්කර වෙළෙඳ පොළේ, අපේ භාණ්ඩාගාර බිල්පත්වල විදේශ මුදල් ආයෝජනය කරනවා නම්, ඒ පිළිබඳව ඔවුන් තුළ යම් විශ්වාසයක් පැවතිය යුතුයි. ඒ විශ්වාසය ඔවුන් තුළ ගොඩනැගීම රජයේ මෙන්ම මහ බැංකුවේ තිබිය යුතු විශේෂ කාර්යභාරයක් වෙනවා. ඉතිං ඒ දේ සිදුනොවන විට, රටේ තත්ත්වය වැඩිපුරම අස්ථාවර වනවිට ඔවුන් තමන්ගේ මුදල් රටෙන් අරගෙන යන එක පුදුමයට කාරණයක් නොවෙයි. මේ තත්ත්වය අද අපිට සිදුවෙලා තියෙනවා. ඉතිං එහෙම සල්ලි අරගෙන යනකොට, රුපියල අනිවාර්යයෙන්ම මස්තබාල්දු වෙනවා. ඒ දෙය අපේ ඇස් ඉදිරිපිටම අද සිදුවෙනවා. අපට එය විඳින්නට සිදුවෙනවා. මේ තත්ත්වය තුළ අපට ඉදිරි මාස 06ක කාලය තුළ විඳින්නට සිදුවෙන අවදානම මට හිතාගන්නවත් බැහැ. ඒවා ගැන කවුරුවත් කටයුතු කරන ආකාරයක් මට පෙනෙන්නෙත් නැහැ. ඉතින් මේ කාරණා දෙස බලද්දි රටේ අනාගතය ගැන බයක් තමයි අපිට දැනෙන්නෙ.
වරාය නගරය, හම්බන්තොට වරාය, නෙළුම් කුලුන විතරද මේ රටේ අපි තවමත් දකින ව්‍යාපෘති...
යමෙක් බොරුවෙන්ම ජීවත් වෙන්න ගියාම ඒ බොරු අතේ පත්තු වෙන වෙලාවක් එනවා. අඩු තරමින් අවුරුදු 25කට පස්සේ එළිවෙන බොරුවක්වත් කිව්වා නම්, මේ අය ටිකක් කල්පනාකාරීව බොරු කියල තියෙනව කියලවත් හිතන්න තිබුණා. නමුත්, වත්මන් පාලකයන් කොච්චර මෝඩද කියනවා නම්, ජනතාව ගොනාට ඇන්ඳවීම සඳහා අවුරුද්දෙන් දෙකෙන් ඇතේ පත්තුවෙන බොරු තමයි, කියල තියෙන්නෙ. සැබවින්ම, ජනාධිපතිවරයා, අගමැතිවරයා, ඇමතිවරු ආදී වශයෙන් පහළට යනකල්ම ඒ බොරු කිව්වා. මේ විදියට බොරු අතේ පත්තුවීම තුළ තමයි, මේ පිරිස කෙරෙහි ජනතා විශ්වාසය අද පළුඳුවෙලා තියෙන්නෙ. එදා හම්බන්තොට වරායට කිව්වෙ, මේක නාන තටාකයක් කියලයි. නෙළුම් කුලුන හදන්නෙ එදා නායකයන්ට උඩට නැගල රට බලන්නද කියල ඇහුවා. වරාය නගරය කිසිම අධ්‍යයනයක් නොකරපු ව්‍යාපෘතියක් කියල කිව්වා. ඉතිං මේ කියපු බොරු අද අතේ පත්තු වෙලා. අද ඔවුන්ගේ මූලිකම ව්‍යාපෘති බවට මේ ව්‍යාපෘති පත්වෙලා. බොහොම උජාරුවට ගිහිල්ල ඒවා නිරීක්ෂණය කරනවා. විවෘත කරනවා.
මේ පාලකයන් බොරුවෙන්ම ගිය නිසා, කිසිම අලුත් ආයෝජකයෙක් අද රටට ඇවිල්ල නැහැ. ඔබ කොළඹ නගරය දිහා බැලුවොත්, මේ ගොඩනැගෙන සියලුම විශාල ව්‍යාපෘති ආරම්භ වෙලා තිබුණේ පසුගිය රජය සමයේදීයි. වත්මන් රජය අලුතින් ආරම්භ කළ දෙයක් නැහැ. මොකද අලුතින් පටන් ගන්න කවුරුත් ආවෙ නැහැ. ඉතිං මෙවැනි තත්ත්වයක් තුළ රටක් ගෙනියන්න බැහැ. අලුතින් රැකියා බිහිවෙන්නෙ නැහැ. මේව කියන කොට ඒ අයට ලැජ්ජ ඇති. ඔවුන් ලැජ්ජා වුණාට අපට ප්‍රශ්නයක් නැහැ. ප්රශ්නය රටේ ආර්ථිකය කඩා බිඳ දැමීමයි. රටේ ආර්ථිකයට තිබූ විශ්වසනීයභාවය අපි නැති කරගත්තා. අවසානයේදී අපේ ඉදිරි පරම්පරා කිහිපයකට මෙහි අනිසි ඵලවිපාක විඳීමට සිදුවෙන්න පුළුවන්. එදා මේ දැවැන්ත ව්‍යාපෘති ගැන දොස් කියමින් පම්පොරි ගහපු අය, අද හොයාගන්නවත් නැති තරම්ලු. අඩුම තරමින් දුරකථනයටවත් ඒනනෙ නැතිලු. මොකද, ඒ අයට කියන්න දෙයක් නැහැ. සැඟවී සිටිනවා හැරෙන්න ඔවුන්ට විකල්පයක් නැහැ.
නව රජයකට මේ අර්බුදයෙන් රට ගොඩගැනීමේ හැකියාවක් පවතිනවා දැයි ජනතාවට ප්‍රශ්නයක්...
මගේ විශ්වාසය නම්, ඉදිරි නව රජයකට මේ අර්බුදයෙන් රට ගොඩගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ සඳහා සැලසුම් සහගතව ප්‍රශ්නවලට මුහුණ දෙමින් කටයුතු කළ ආකාරය 2006 සිට 2014 දක්වා අපි ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්නුවා. මේ රටේ අර්බුද රැසක් තිබුණා. නොතිබුණා නොවෙයි. අපට යුද්ධයක් තිබුණා. අපට තෙල් අර්බුදයක් තිබුණා. ලෝක ආර්ථික අර්බුදයක් තිබුණා. ආහාර අර්බුදයක් තිබුණා. ලෝකයේ බැංකු අර්බුදයකට ලක්ව තිබුණා. මේ සියලු අර්බුද මැද අපි සාර්ථකව ඒවාට මුහුණ දුන්නා. ඒවායෙහි ඵලවිපාක අපි ජනතාවට කාන්දු වෙන්න ඉඩ දුන්නෙ නැහැ. ඒව පාලනය කරගත්තා. කළමනාකරණය කරගත්තා. ඒ පාලනය කිරීමේ ලක්ෂණ නිසා තමයි, ඒ සියලු අර්බුද කළමනාකරණය කරගෙන අපට ඉදිරියට යන්න හැකියාව ලැබුණෙ. අපි කවදාවත් ජනතාව ඉස්සරහට ඇවිල්ල අපිට සල්ලි නැහැ කියල ඇඬුවෙ නැහැ. අපිට ණය ගෙවාගන්න බැහැ කියල කිව්වෙ නැහැ. ලෝකයේ බොරතෙල් ප්‍රශ්නයක් තියෙනව, ඒ නිසා අපිට දුක් විඳින්න වෙනව කියල කිව්වෙ නැහැ. අපිට යුද්ධය තියෙනවා, ඒ නිසා නොකා නොබී ඉන්න කියල අපි කිව්වද, කිව්වෙ නැහැ. අපි ඒවා පාලනය කරගත්තා. කළමනාකරණය කරගත්තා. ඒකට තමයි රජයක් තියෙන්නෙ. ඒකට තමයි මහ බැංකුවක් තියෙන්නෙ. ඒකට තමයි, මේ පත්වීම් දෙන්නෙ. එහෙම නැතිව, ජනතාව ඉස්සරහට ඇවිල්ල මට මේක කරගන්න බැහැ, අනේ මාව බේරගන්න කියල රජයේ මැති ඇමතිවරු, නිලධාරීන් අඬ අඬා කියනවා නම්, මොකටද ඒ වගේ රජයක්.
මම පැහැදිවම කියනව, මේ ප්‍රශ්නවලට අපට විසඳුම් දෙන්න පුළුවන්. මේ ප්රශ්නවලදී අපට ඉදිරියට යන්න පුළුවන්. ඒකට ස්ථාවර රජයක් හදන්න ඕනෙ. නිකං ගැටගහගත්ත රජයකින් මේව කරන්න බැහැ. ඒ සඳහා ස්ථාවර රජයක් තිබිය යුතුයි. දක්ෂ නිලධාරීන් සිටිය යුතුයි. ඔවුන්ට එදා වගේ කටයුතු කිරීමට අවස්ථාව සහ නිදහස ලබාදිය යුතුයි. එසේ ලබාදුන්නොත් මේ ප්‍රශ්නවලට බොහොම පහසුවෙන් මුහුණදීමට පුළුවන්කම ලැබෙනවා. එහෙම නැත්නම් මේ රට අගාධයට යන ගමන දිගින් දිගටම යනව කියල මට ඉතාම ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන්.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd