රජයේ රෝහල් තොරතුරු තාක්ෂණයෙන් බලගන්වයි
රජයේ රෝහල් සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය මත පදනම් වූ රෝහල් සෞඛ්‍යය තොරතුරු කළමනාකරණ පද්ධතියක් (Hospital Health Information Management System) හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.
රජයේ රෝහල් වෙත ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට වඩාත් ඉක්මන් සහ විධිමත් සේවාවක් ලබාදීමට මෙම පද්ධතිය හරහා හැකිවන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
ඒ අනුව, රෝහලේ බාහිර ප්‍රතිකාර අංශය වෙත පැමිණෙන රෝගීන්ගේ සෞඛ්‍යමය තොරතුරු නියම කරන ලද ඖෂධ වට්ටෝරු සෞඛ්‍යය වාර්තා තොරතුරු ජීවදත්ත ඇතුළු වැදගත් සියලු තොරතුරු මෙම පද්ධතියට ඇතුලත් කරනු ලබන බව කියයි. මෙහිදී රෝගියා වෙත නියම කෙරෙන ඖෂධ වට්ටෝරුද මෙම පද්ධතිය ඔස්සේම ඖෂධ නිකුත් කරන ස්ථානය (Pharmacy) වෙත ලබාදීමද සිදුකරන බව නියෝජිතායතනය පවසයි.
තවද, ඖෂධ එන්නත් කිරීම, රුධිර සාම්පල ලබාගැනීම, රසායනාගාර පරීක්ෂකණ මෙන්ම බෝවන රෝගයක් හඳුනාගැනීම වැනි කටයුතු රෝගියා සම්බන්ධයෙන් සිදුකිරීමට තිබේ නම් මෙම පද්ධතිය හරහා අදාල අංශ වෙත යොමු කිරීම සිදුවන බවද පෙන්වා දෙයි.
ඒ අනුව, රෝගියාගේ තොරතුරු රෝහල් සෞඛ්‍යය තොරතුරු කළමනාකරණ පද්ධතියට (HHIMS) ඇතුලත් කෙරුණු පසු රෝගියාට ඒ සඳහා විශේෂ කාඩ් පතක් නිකුත් කිරීමද සිදුකරන බව පවසයි.
නැවත රෝගියා ප්‍රතිකාර සඳහා රෝහල වෙත පැමිණි විටදී රෝගියාට මෙන්ම වෛද්‍යවරයාටද මෙමගින් පහසුකම් රැසක් අත්වන බවත්, විශේෂයෙන්ම වෛද්‍යවරයාට රෝගීන්ගේ දත්ත ඉතාමත් කෙටි කාලයක් තුල අධ්‍යනය කර ඉතා නිවැරදි රෝග විනිශ්චයකට එළඹීමට හැකිවීම මෙමගින් ලැබෙන ප්‍රධාන වාසියක් බවත් නියෝජිතායතනය සඳහන් කරයි.
තවද, මෙමගින් කඩදාසි භාවිත කිරීමද අවම කිරීමට හැකිවන අතර හරිත පරිසරයක් සඳහාද මග සැලසෙනු ඇති බවද පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන විසින් ක්‍රියාත්මක ඩිජිටල් සෞඛ්‍යය වැඩසටහන (Digital Health Programme) යටතේ මෙය ක්‍රියාත්මක බවත්, නිල වශයෙන් වැඩසටහන ක්‍රියාවට නැංවීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්යන රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර දිස්ත්‍රික් රෝහලේදී සිදුකෙරුණු බවත් නියෝජිතායතනය වැඩිදුරටත් පවසයි.
ඩිජිටල් ශ්‍රී ලංකාවක් දැක්ම යථාර්ථයක් කර ගැනීමට යන ගමනේදී විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්රයටද එම ප්රතිලාභ ලබාදීමට මෙම වැඩසටහන යටතේ හැකිවී තිබෙන බවත්, සෞඛ්‍යය ක්ෂේත්රයේ කාර්යක්ෂමතාව හා ගුණාත්මක බව මෙන්ම, රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට හැකිවන බවත්, රෝගීයාගේ දත්ත වාර්තා වඩා පහසුවෙන් නිරීක්ෂකණය කර රෝගියාට ප්‍රතිකාර කිරීමේ පසුබිමක් රෝගී සත්කාරක සේවයේ යෙදෙන වෘත්තිකයන්ට ලැබෙන බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී මුහුන්දන් කනගේ මහතා පැවසීය.
2019 වසර අවසාන වනවිට තවත් රජයේ රෝහල් 300කට පමණ මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බව මෙම වැඩසටහන නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවට එක් වූ නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකාර ශ්‍රියානන්ද රත්නායක මහතා පැවසීය.
මෙම වැඩසටහන තවදුරටත් සාර්ථක කරගැනීම සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත ටැබ් පරිගණක යන්ත්‍ර කිහිපයක් ප්රදානය කිරීම නියෝජිතායතනයේ අධ්යක්ෂ (ව්‍යාපෘති) අරුනේෂ් පීටර් මහතා අතින් මෙහිදී සිදු වී තිබේ.
ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී පී. දයාරත්න, අම්පාර දිස්ත්‍රික් රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ලංකා ජයසිංහ යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක්වූ බව නියෝජිතායතනය වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

