ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු නගාසිටුවීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ අවධානය යොමුවී ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.
චීනයේ, බීජිං නුවරදී පසුගිය 16 වැනිදා ආරම්භ වූ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) විධායක මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු වූ බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියි.
මෙම බැංකුවේ ප්‍රථම විධායක මණ්ඩල රැස්වීම චීන ජනපති ෂී ජින්පින් මහතාගේ ප්‍රධානත්වයෙන් චීනයේ, බීජිං නුවරදී ආරම්භ වූ අතර, එම සමාරම්භක අවස්ථාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සහභාගී වීය.
පසුගිය 18 වැනිදා අවසන් වූ මෙම විශේෂ රැස්වීමට එම බැංකුවේ සාමාජික රටවල් 57 ක මුදල් අමාත්‍යවරු හා මූල්‍ය විශේෂඥයෝ සහභාගී වූහ.
AIIB විධායක මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන කටයුතු සඳහා ජාත්‍යන්තරයේ අවධානය යොමුවීම විශේෂ සිද්ධියක් බව මුදල් අමාත්‍යවරයා පවසා සිටියි.
මුදල් අමාත්‍යාංශය පෙන්වාදෙන පරිදි, අමාත්‍ය රවි කරුණානායක මහතා මෙම රැස්වීමට සහභාගී වූ රටවල් ගණනාවක, මුදල් අමාත්‍යවරු සමග වෙන්වෙන් වශයෙන් සාකච්ඡා පැවැත්වූ අතර, එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන සැලසුම් සම්බන්ධයෙන්ද අවධානය යොමු කර තිබේ.
මෙම රැස්වීම අතරතුර AIIB බැංකුවේ නව සභාපති ජීන් ලිකූන්, එම බැංකුවේ උප සභාපති ඉන්දුනීසියානු මුදල් අමාත්‍ය බැම්බැන්ග් බ්රොජොනීග්රෝ, චීන මුදල් අමාත්‍ය ලූ ජියිවෙයි සහ පාකිස්තාන මුදල් අමාත්‍ය මොහම්මද් ඉසාක් ඩාර් යන මහත්වරු සමගද අමාත්‍ය රවි කරුණානායක මහතා සාකච්ඡා පවත්වා ඇත.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව, සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ආධාර ලබාදීම වෙනුවෙන් චීනය කේන්ද්‍ර කරගෙන පිහිටුවා ගත් තවත් ජාත්‍යන්තර බැංකුවකි.