මීට පෙර සලකා නොබැලූ අංශ වෙත බදු පනවමින් ආදායම් උපයා ගැනීමට මෙවර අයවැය ඉලක්ක කර ඇති අතර, එය ජනතාවට පීඩාවක් නොවන අයුරින් සිදුකරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ, පසුගිය 11 වැනිදා මුදල් අමාත්‍යාංශයේදී විදෙස් මාධ්‍ය ආයතනවල මෙරට සිටින වාර්තාකරුවන් හමුවූ අවස්ථාවේදීය. එහිදී, වැඩිදුරටත් අදහස් දක්වා ඇති මුදල් අමාත්‍යවරයා,
"ප්‍රග්ධන මූලික අයවැයක් 2016 වසර වෙනුවෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එහිදී, පුනරාවර්තන වියදමට වඩා වැඩි ආදායමක් උපයා ගැනීමට 2016 වසර තුළ ක්‍රියා කරනවා.
ඒ වගේම, ආදායම් උපයා ගැනීම සඳහා විවිධ ක්රමෝපායන් අනුගමනය කරනවා. මීට පෙර සලකා නොබැලූ අංශ වෙත බදු පනවමින් ආදායම් උපයා ගැනීමට මෙවර අයවැය ඉලක්ක කර තිබෙනවා. නමුත්, එය ජනතාවට බලවත් පීඩාවක් නොවන අයුරින් සිදු වේවි.
ආදායම් උත්පාදනයේදී නොදැනුවත්ව හෝ වෘත්තීයභාවයකින් තොරව අත්හැර දැමූ අංශ වෙත අවධානය යොමුකළ යුතුයි. ඒ මගින් ආදායම් උත්පාදනය වන අතර, එම ආදායම 2016 පුනරාවර්තන වියදම් ඉක්මවා ගිය ආදායමක් වේවි. නමුත්, මේ ආදායම් උත්පාදනය කිරීමේ සැලැස්ම ජනතාවට පාඩුවක් නොවන අයුරින් සිදුවේවි." යනුවෙන් පවසා සිටියේය.