භෞතික සම්පත් අතින් ඉතා දුර්වලව පැවති මාතෘ හා ළමා සායන මධ්‍යස්ථාන මේ වනවිට ජාත්‍යන්තර තලයේ ඉතා දියුණු රටවල පවතින සෞඛ්‍ය මධ්‍යස්ථානවලට නොදෙවෙනි ලෙස අති නවීන පහසුකම් සහිතව සංවර්ධනය කර ඇතැයි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
මෙරට සෞඛ්‍ය සේවාව ලෝකයේ ඇගයීම්වලට පවා ලක්ව ඇති බවත්, එසේ ඇගයීම්වලට ලක්වූයේ සෞඛ්‍ය අංශයට අයත් සියලුම නිලධාරීන්ගේ කැපවීම සහ දක්ෂතාව නිසා බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එවැනි දක්ෂ නිලධාරීන් පිරිසකට තම සේවාව නිසියාකාරව සිදු කිරීමට අවශ්‍ය පරිසරය සකසාදීම සහ ජනතාවට සුව පහසු සේවාවක් ලබාගැනීම සඳහා අවස්ථාව සලසාදීම මෙවැනි අංග සම්පූර්ණ ළමා හා මාතෘ සායන මධ්‍යස්ථාන ඉදිකිරීමේ අරමුණ බවද අමාත්‍යවරයා කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (16දා) මහර ආසනයට අයත් රන්මුතුගල සහ ඇල්දෙනිය යන ස්ථානවල නවීකරණය කරන ලද ළමා හා මාතෘ සායන මධ්‍යස්ථාන දෙක ජනතා අයිතියට පවරමිනි.
ළමා හා මාතෘ සායන නවීකරණය කිරීමේ වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන ලදී. ඒ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ එක් ආසනයකට ළමා හා මාතෘ සායන මධ්‍යස්ථාන 05ක් බැගින් ආසන 13 තුළ මධ්‍යස්ථාන 65ක් නවීකරණය කිරීමට තෝරා ගන්නා ලදී.
මේ වනවිට ඉන් මධ්‍යස්ථාන 52ක් නවිකරණය කිරීමෙන් අනතුරුව ජනතා අයිතියට පත් කර ඇති අතර, ඉතුරු මධ්‍යස්ථාන කිහිපය ඉදිරි කෙටි කාලය තුළ නවීකරණය කිරීමෙන් අනතුරුව විවෘත කිරීමට නියමිතය.