මම අං කැඩුණු ගොනෙක් වගේ අවෛරීවමයි වාසය
- නිකිණි පොහොය වෙනුවෙන් 'අද' දහම් පඬුරකි ~~~~~~
ධර්ම සේනාධිපතීන් වහන්සේ වූ, භාග්‍යවතුන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයාණන් වූ, දරුවන් වදන මවක සේ ශ්‍රාවකයන් සෝවාන් ඵලය කරා රැගෙන යන්නා වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ විසින් සිදුකළ අභීත සීහනාදය ගෞතම බුදු සසුනේ ආශ්චර්ය, අද්භූත සිදුවීමක්මයි.
බුදුරජාණන් වහන්සේ සැරියුත් මහ රහතන් වහන්සේගේ ගුණ නිතරම සංඝයා ඉදිරියේ ප්‍රකාශ කරන්න වුණා. උන්වහන්සේ භික්ෂු සංඝයාට නිතර අනුදැන වදාළේ, සාරිපුත්ත තෙරුන් වගේ වෙන්න, මුගලන් තෙරුන් වගේ වෙන්න කියලයි. සාරිපුත්ත, මොග්ගල්ලාන දෙදෙනා වහන්සේම ඇසුරු කරන්න, ඒ දෙදෙනා වහන්සේම භජනය කරන්න කියලයි. උන්වහන්සෙලා බොහෝ ධර්මධර, විනයධර ස්වාමීන් වහන්සේලා දෙනමක් වගේම, එකට බඹසර පුරන, එකට මහණදම් පුරන, ස්වාමීන් වහන්සේලාට බොහෝ උදව් උපකාර, අනුග්‍රහ දක්වන, සහයෝගය දක්වන දෙනමක් බවත් පවසා සිටියා. හරියට මවක හා පියෙකු දරුවන් රැකබලා ගන්නා සේ සංඝයා රැකබලා ගන්නා නිසා නිතරම සාරිපුත්ත, මොග්ගල්ලාන දෙදෙනා වහන්සේ ඇසුරු කරන්න යැයි බුදුරජාණන් වහන්සේ සංඝයාට අනුදැන වදාළා.
"පින්වත් මහණෙනි, මේ සාරිපුත්තයන් චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශනා කරන්න, මනාකොට පණවන්න, පිහිටුවාලන්න, විභජනය කරල දක්වන්න දක්ෂයි. පින්වත් මහණෙනි, මේ සාරිපුත්තයන් දරුවන් වදන්නා වූ මව වගෙයි. පින්වත් මහණෙනි, මේ සාරිපුත්තයන් තමයි, ශ්රාවකයන්ව සෝතාපත්ති ඵලයේ පිහිටුවන්න අතිශයින් දක්ෂ වන්නේ" යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සංඝයා ඉදිරියේ තම ධර්ම සේනාධිපතීන් වහන්සේ පිළිබඳ නිතර සිහිපත් කළා.
එදවස බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩවාසය කරමින් සිටින අවස්ථාවේදී වස් තුන් මාසය අවසන් වුණා. මේ අවස්ථාවේදී සාරිපුත්ත මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපයට වැඩමවා උන්වහන්සේට වන්දනා වැඳ නමස්කාර කොට, පසෙකින් තැන්පත් වුණා.
"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මා වස්සාන සමයේ සැවැත් නුවර ජේතවනාරාමය ඇසුරු කරගෙන වැඩ සිටියා. වස්සාන සමය අවසන්. මා දැන් ජනපද චාරිකාවේ වඩින්න කැමතියි."
"පින්වත් සාරිපුත්තය, යමකට කාලය පැමිණිලා නම්, ඔබ එය කරන්න. සාරිපුත්ත චාරිකාවේ වැඩම කරන්න."
අනතුරුව සාරිපුත්ත මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරල, උන්වහන්සේව පැදකුණු කරල ඒ ස්ථානයෙන් නික්මුණා. මේ වෙලාවෙදි, සැරියුත් තෙරුන්ගේ ඇසුර ප්‍රිය කරන ස්වාමින් වහන්සේලා උන්වහන්සේ සමග චාරිකාවේ යෙදෙන්න එක්වුණා. උන්වහන්සේ නැගිට පිටත්වෙලා යනකොට විශාල සඟ පිරිසක් උන්වහනසේ සමග නැගිටලා යන්න පිටත් වුණා. මෙතැන සිටි කෙලෙස් බරිත භික්ෂුවකට මෙය ප්‍රිය දසුනක් වුණේ නැහැ. සැරියුත් ස්වාමීන් වහන්සේ කෙරෙහි ඊර්ෂ්‍යාවක්, වෛරයක් ඇති කරගත්තා.
මේ අතර, චාරිකාවේ ගමන් අරඹන විට සැරියුත් තෙරුන්ගේ සිවුරේ කොණක් ඒ අප්‍රකට භික්ෂුවගේ ශරීරයේ ගෑවුණා. මේ අවස්ථාවෙ, ඊෂ්‍යාවෙන් සිටි භික්ෂුව ඒ අකුසල සිත පදනම් කරගෙන සැරියුත් තෙරුන් ගැන අභූත චෝදනාවක් ගෙතුවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ජේතවනාරාමයෙන් නික්ම වැඩම කර සුළු වේලාවකින් බුදුරජාණන් වහන්සේ සමීපයට මේ අප්‍රකට භික්ෂුව ඒ අභූත චෝදනාව රැගෙන ගියා.
"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගේ කිසිම ආචාරශීලීකමක් නැහැ. චාරිකාවේ වැඩම කරන්න පිටත් වෙද්දි, මගේ ඇඟේ හැප්පිලා, අඩුම තරමින් මගෙන් සමාවවත් නොගෙනයි ඔය වැඩම කළේ" යනුවෙන් මහ පොළොව පවා නුහුලන මුසාවක් කියා සිටියා.
සැබවින්ම, ඒ පාපී භික්ෂුව සාරිපුත්ත මහ රහතන් වහන්සේව වගේම, බුදුරජාණන් වහන්සේවවත් අවබොධ කර නොගෙන, තිසරණයේ නොපිහිටි බව පැහැදිලියි. එදවස ජේතවනාරාමයේම වැඩසිටි ඇතැමුන්ගේ ක්‍රියා එසේ නම්, වර්තමානය ගැන කවර කතාද? මේ පාපී භික්ෂුව නගන්නේ අභූත චෝදනාවක් බව භාග්‍යවතුන් වහන්සේ දැනගෙනත්, මොහු විසින් සිදුකර ගැනීමට යන බරපතළ අකුසලයෙන් ඒ භික්ෂුව ගලවා ගැනීම සඳහාත්, ජේතවනාරාමයේ වැඩසිටි සෙසු සඟ පිරිස මෙන්ම, භික්ෂු, භික්ෂුනී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිස වෙතම ධර්ම සේනාධිපති වූ සාරිපුත්තයන් ලබාදෙන ආදර්ශය ප්‍රකට කිරීම සඳහාත් යළි සාරිපුත්ත මහ රහතන් වහන්සේව, භාග්‍යවතුන් වහන්සේ කැඳවන බව දන්වන ලෙස තවත් භික්ෂුවක් අමතා බුදුරජාණන් වහන්සේ කියා සිටියා.
මේ සිදුවීම දුටුව මුගලන් මහ රහතන් වහන්සේත්, ආනන්ද ස්වාමීන් වහන්සේත්, ජේතවනාරාමයේ වැඩවාසය කරන භික්ෂූන්ගේ කුටියක් කුටියක් ගාණේ ගිහිල්ල, "ආයුෂ්මත්නි, දැන් අපේ සාරිපුත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සිංහනාද පවත්වනවා. ඉක්මනට වඩින්න ධර්මශාලාවට* කියල කියා සිටියා.
ඉතිං සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් සමීපයට වැඩම කරල, උන්වහන්සේට වන්දනා කරල පසෙකින් අසුන් ගත්තා.
"සාරිපුත්තය, ඔබට සබ්රහ්මචාරී භික්ෂුවක් චෝදනා කළා, ඔබ උන්වහන්සේගේ ඇඟේ හැප්පිලා, සමාව නොගෙන චාරිකාවේ වැඩියා කියල කියන්නෙ, ඇත්තද මේ කතාව?"
මේ වෙලාවෙදි, බුදුරදුන්ගේ අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහ රහතන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ ඉදිරියේ, මහා සඟ පිරිස මැද අභීත සිංහනාදයක් කළා. මහ පොළොව කම්පා කළ අභීත සිංහනාදයක් කළා.
"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ කය කෙරෙහි කායගතාසතිය (කය පිළිබඳ මනා සිහිය) මනාකොට පිහිටලා නැත්නම් කාටහරි, සබ්රහ්මචාරී භික්ෂුවකගේ ඇඟේ හැප්පිලා, සමාව නොගෙන චාරිකාවේ වඩින්න පිටවෙලා යාවි."
"ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, ඒත් මම බලනව මේ මහ පොළොව දිහා. මිනිස්සු මේ මහ පොළොවට මළ මූත්‍ර දානවා. පිරිසුදු දේත් දානවා. අපිරිසුදු දේත් දානවා. ස්වාමීන් මේ මහ පොළොවට මිනිස්සු කෙළ ගහනවා. සැරව දානවා. ලේ දානවා. ඒ හේතුවෙන් මේ මහ පොළොව පීඩාවට පත්වෙන්නෙ නෑ. ලැජ්ජාවට පත්වෙන්නෙ නෑ. පිළිකුලට පත්වෙන්නෙ නෑ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම මේ මහ පොළොව හා සමානව මහද්ගත වූ, ප්‍රමාණ රහිත වූ, අප්‍රමාණ මෙත් සිත පතුරුවමින් අවෛරීව වාසය කරන්නෙ."
මහත් ගුණ ඇති සැරියුත් තෙරුන් ප්‍රඥාවෙන් යථාර්ථය දකිමින්ම මෙසේ වදාරන කල ජලය කෙළවර කොට ඇති මහ පොළොව කම්පා වුණා.
"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ කය කෙරෙහි කායගතාසතිය (කය පිළිබඳ මනා සිහිය) මනාකොට පිහිටලා නැත්නම් කාටහරි, සබ්භ්රහ්මචාරී භික්ෂුවකගේ ඇඟේ හැප්පිලා, සමාව නොගෙන චාරිකාවේ වඩින්න පිටවෙලා යාවි."
"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඒත් මම බලනව මේ ජලය දිහා. මිනිස්සු මේ ජලයෙන් පිරිසිදු දේත් අපිරිසිදු දේත් සෝදා හරිනවා, අසූචිත් සෝදා හරිනවා, මූත්‍රත් සෝදා හරිනවා, කෙළත් සෝදා හරිනවා, සැරවත් සෝදා හරිනවා, ලෙයත් සෝදා හරිනවා. ඒ හේතුවෙන් මේ ජලය පීඩාවකට පත්වෙන්නෙ නෑ, ලජ්ජාවකට පත්වන්නෙ නෑ. පිළිකුලකට පත්වන්නෙ නෑ. ස්වාමීනි, මමත් ජලය හා සමානව මහද්ගත වූ, ප්‍රමාණ රහිත වූ, අප්‍රමාණ මෙත් සිත පතුරුවමින්මයි, අවෛරීව වාසය කරන්නෙ."
සාරිපුත්තයන් වහන්සේගේ සීහනාදය අබියස යළිත් මිහිකත කම්පා වුණා. මේ ආකාරයට සාරිපුත්ත මහ රහතන් වහන්සේ තමන් වහන්සේගේ පරම නිහතමානිත්වය දක්වන තවත් උපමා හතක් වදාළා.
"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ කය කෙරෙහි කායගතාසතිය (කය පිළිබඳ මනා සිහිය) මනාකොට පිහිටලා නැත්නම් කාටහරි, සබ්රහ්මචාරී භික්ෂුවකගේ ඇඟේ හැප්පිලා, සමාව නොගෙන චාරිකාවේ වඩින්න පිටවෙලා යාවි."
"ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, ඒත් මම බලනව මේ ගින්න දිහා. මිනිස්සු මේ ගින්නෙන් පිරිසුදු දේත් දවනවා. අපිරිසුදු දේත් දවනවා. ස්වාමීන්, මේ ගින්නෙන් අසූචිත් දවනවා. සැරවත් දවනවා. කෙළත් දවනවා. මුත්‍රාත් දවනවා. සැරවත් දවනවා. ලෙයත් දවනවා. ඒ හේතුවෙන් මේ ගින්න පීඩාවට පත්වෙන්නෙ නෑ. ලැජ්ජාවට පත්වෙන්නෙ නෑ. පිළිකුලට පත්වෙන්නෙ නෑ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම මේ ගින්න හා සමානව මහද්ගත වූ, ප්‍රමාණ රහිත වූ, අප්‍රමාණ මෙත් සිත පතුරුවමින්මයි, අවෛරීව වාසය කරන්නෙ."
සාරිපුත්තයන් වහන්සේගේ සීහනාදය ජේතවනාරාමයේ වැඩසිටි බොහෝ භික්ෂූන්ගේ හිත සුව පිණිසම හේතු වුණා.
"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ කය කෙරෙහි කායගතාසතිය (කය පිළිබඳ මනා සිහිය) මනාකොට පිහිටලා නැත්නම් කාටහරි, සබ්භ්රහ්මචාරී භික්ෂුවකගේ ඇඟේ හැප්පිලා, සමාව නොගෙන චාරිකාවේ වඩින්න පිටවෙලා යාවි."
"ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, ඒත් මම බලනව මේ වාතය දිහා. මේ වාතයේ පිරිසුදු දේත් හමා යනවා. අපිරිසුදු දේත් හමා යනවා. ස්වාමීන්, මේ වාතයේ අසූචිත් හමා යනවා. සැරවත් හමා යනවා. කෙළත් හමා යනවා. මුත්‍රාත් හමා යනවා. සැරවත් හමා යනවා. ලෙයත් හමා යනවා. ඒ හේතුවෙන් මේ වාතය පීඩාවට පත්වෙන්නෙ නෑ. ලැජ්ජාවට පත්වෙන්නෙ නෑ. පිළිකුලට පත්වෙන්නෙ නෑ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම මේ වාතය හා සමානව මහද්ගත වූ, ප්‍රමාණ රහිත වූ, අප්‍රමාණ මෙත් සිත පතුරුවමින්මයි, අවෛරීව වාසය කරන්නෙ."
ඒ මහා සීහනාදය අභියස පෙර අභූත චෝදනාව සිදුකළ භික්ෂුව දහඩියෙන් නැහැවී ගියා.
"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ කය කෙරෙහි කායගතාසතිය (කය පිළිබඳ මනා සිහිය) මනාකොට පිහිටලා නැත්නම් කාටහරි, සබ්රහ්මචාරී භික්ෂුවකගේ ඇඟේ හැප්පිලා, සමාව නොගෙන චාරිකාවේ වඩින්න පිටවෙලා යාවි."
"ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, ඒත් මම බලනව මේ පිස්නාකඩ දිහා. මේ පිස්නාකඩ පිරිසුදු දේත් පිස දමනවා. අපිරිසුදු දේත් පිස දමනවා. ස්වාමීන්, මේ පිස්නාකඩ අසූචිත් පිස දමනවා. සැරවත් පිස දමනවා. කෙළත් පිස දමනවා. මුත්‍රාත් පිස දමනවා. සැරවත් පිස දමනවා. ලෙයත් පිස දමනවා. ඒ හේතුවෙන් මේ පිස්නාකඩ පීඩාවට පත්වෙන්නෙ නෑ. ලැජ්ජාවට පත්වෙන්නෙ නෑ. පිළිකුලට පත්වෙන්නෙ නෑ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම මේ පිස්නාකඩ හා සමානව මහද්ගත වූ, ප්‍රමාණ රහිත වූ, අප්‍රමාණ මෙත් සිත පතුරුවමින්මයි, අවෛරීව වාසය කරන්නෙ."
ගෞතම බුදු සසුනේ ධර්ම සේනාධිපතීන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ නිතර වදාළ ගුණ යළි යළිත් ඉස්මතු වන්නට වුණා.
"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ කය කෙරෙහි කායගතාසතිය (කය පිළිබඳ මනා සිහිය) මනාකොට පිහිටලා නැත්නම් කාටහරි, සබ්භ්රහ්මචාරී භික්ෂුවකගේ ඇඟේ හැප්පිලා, සමාව නොගෙන චාරිකාවේ වඩින්න පිටවෙලා යාවි."
"ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, ඒත් මම බලනව මේ සැඩොල් කුලේ (පහත් කුලේ) දරුවෙක් දිහා. ස්වාමීනී, මේ සැඩොල් කුලේ දරුවෙක් හෝ දැරියක්, යම් නගරයකට හෝ ගමකට හෝ නියම්ගමකට ඇතුළු වනවිට පැසක් අතින් ගෙන, වැරහැලි ඇඳගෙන, ඉතා නිහතමානීව ඇතුළු වෙනවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම මේ සැඩොල් කුලේ දරුවෙක් හා සමානව ඉතා නිහතමානීව, මහද්ගත වූ, ප්‍රමාණ රහිත වූ, අප්‍රමාණ මෙත් සිත පතුරුවමින්මයි, අවෛරීව වාසය කරන්නෙ."
සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ අභීත හඬ ජේතවනාරාම ධර්මශාලාව පුරා රැව්පිළිරැව් දෙන්නට වුණා.
"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ කය කෙරෙහි කායගතාසතිය (කය පිළිබඳ මනා සිහිය) මනාකොට පිහිටලා නැත්නම් කාටහරි, සබ්භ්රහ්මචාරී භික්ෂුවකගේ ඇඟේ හැප්පිලා, සමාව නොගෙන චාරිකාවේ වඩින්න පිටවෙලා යාවි."
"ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, ඒත් මම බලනව මේ අං කැඩුණු ගොනෙක් දිහා. ස්වාමීනි, මේ අං කැඩුණු ගොනා හතරමං හන්දියෙන් හතරමං හන්දියට කිසිම කලබලයක් නැතිව ඇවිදින කොට ගාත්වලින් හෝ අඟින් හෝ කිසිවෙකුට පීඩා කරන්නෙ නෑ. හානියක් කරන්නෙ නෑ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම මේ අං කැඩුණු ගොනා හා සමානව කිසිම කලබලයක් හෝ කිසිවෙකුට හානියක් නැතිව, මහද්ගත වූ, ප්‍රමාණ රහිත වූ, අප්‍රමාණ මෙත් සිත පතුරුවමින්මයි, අවෛරීව වාසය කරන්නෙ."
තමාට චෝදනා කළා වූ භික්ෂුව කෙරෙහි පවා අප්‍රමාණ වූ මෙත් සිතින්ම සාරිපුත්තයන් වහන්සේ මේ සීහනාදය සිදුකළා.
"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ කය කෙරෙහි කායගතාසතිය (කය පිළිබඳ මනා සිහිය) මනාකොට පිහිටලා නැත්නම් කාටහරි, සබ්භ්රහ්මචාරී භික්ෂුවකගේ ඇඟේ හැප්පිලා, සමාව නොගෙන චාරිකාවේ වඩින්න පිටවෙලා යාවි."
"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඒත් මම බලනව යම් තරුණයෙක් හෝ තරුණියක් නා පිරිසිදු වී සැරසී සිටින විට බලු කුණක් හෝ සර්ප කුණක් හෝ මිනී කුණක් හෝ බෙල්ලේ එල්ලුවොත් එයින් ඒ තරුණයා හෝ තරුණිය ඉතා ලජ්ජාවට පත්වෙනවා. පීඩාවට පත්වෙනවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මමත් මේ කුණු කය නිසා එපරිද්දෙන්ම පීඩාවට පත්වෙනවා. ලැජ්ජාවට පත්වෙනවා. පිළිකුලට පත්වෙනවා."
ගෞතම බුදුසසුන බැබළවූ අග්‍රශ්‍රාවකයාණන් වහන්සේගේ අභීත සීහනාදය ආශ්චර්යයි... අද්භූතයි...
"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ කය කෙරෙහි කායගතාසතිය (කය පිළිබඳ මනා සිහිය) මනාකොට පිහිටලා නැත්නම් කාටහරි, සබ්බ්රමචාරී භික්ෂුවකගේ ඇඟේ හැප්පිලා, සමාව නොගෙන චාරිකාවේ වඩින්න පිටවෙලා යාවි."
"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඒත් මම බලනව යම් පුරුෂයෙක් සිදුරු මහ සිදුරු ඇති, උඩ කටින්ද උතුරන යුෂ ඇති, යටින්ද උතුරන යුෂ ඇති, මේද තෙල් පිරුණු හැලියක් හෙවත්, ඒ යුෂ පිටවීම සඳහා තැනින් තැන සිදුරු කළ අමු මස් හැළියක් ගෙන යන ආකාරය. ස්වාමීනි, මමද එපරිද්දෙන්ම කුඩා, මහත් සිදුරු ඇති උඩ කටින් අසූචි වෑහෙන, යට කටින් අසූචි ගලන මේ ශරීරය පරිහරණය කරනවා. ස්වාමීනී, මේ කය කෙරෙහි කායගතා සතිය මනාකොට පිහිටලා නැත්නම් කාටහරි, සබ්රහ්මචාරී භික්ෂුවකගේ ඇඟේ හැප්පිලා, සමාව නොගෙන චාරිකාවේ වඩින්න පිටවෙලා යාවි."
"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම ඒ මහ පොළොව මෙන්ද, ජලය මෙන්ද, ගින්න මෙන්ද, වාතය මෙන්ද, පිස්නාකඩ මෙන්ද, සැඩොල් කුලේ දරුවෙකු මෙන්ද, අං කැඩුණු ගොනෙකු මෙන්ද, නා පිරිසුදු වී සිටි තරුණයෙකු හෝ තරුණියකගේ බෙල්ලේ මළ කුණක් එල්ලුවාක් මෙන්ද, අමුමස් හැළියක් ගෙන යන පුරුෂයකු මෙන්ද මේ කුණු කයින් පීඩාවට පත්වෙමින්, ලැජ්ජා වෙමින්, පිළිකුල් කරමින් වාසය කරනවා."
සැරියුත් මහ රහතන් වහන්සේ මේ අසිරිමත් උපමා පෙළ වදාළ අවස්ථා නවයේදීම මහ පොළොව කම්පාවට පත්වුණා. පෘථග්ජන භික්ෂූන්ගේ ඇස්වලට කඳුළු උනා එන්නට වුණා. රහතන් වහන්සේලාට ධර්ම සංවේග උපදින්නට වුණා.
මේ අවස්ථාවේදී සාරිපුත්තයන් වහන්සේට අභූත චෝදනා එල්ල කළ ඒ අප්‍රකට භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වැඳ වැටණා.
"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම බාලයකු මෙන් වැරැද්දක් කළා. මම සාරිපුත්තයන් වහන්සේට අසත්‍ය වූ, සාවද්‍ය වූ, හිස් වූ, සිදු නොවූවකින් අභූතව චෝදනා කළා. භාග්‍යවතුන් වහන්ස, මත්තෙහි සංවර වීම පිණිස ඒ මගේ වැරැද්ද වැරැද්ද වශයෙන් පිළිගන්නා සේක්වා."
මේ අවස්ථාවේදී, මේ භික්ෂුව තමා සිදුකළ වරද පිළිගත් නිසා, බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ අමතා මෙසේ වදාළ සිටියා.
"සාරිපුත්ත, මොහුගේ හිස මෙතැනම හත්කඩකට පැලේ නම් ඊට පෙර මේ හිස් පුද්ගලයාට සමාව දෙන්න?"
"ස්වාමීනි, ඒ ආයුෂ්මතුන් වහන්සේ මගෙන් සමාව ඉල්ලයි නම්, මම උන් වහන්සේට සමාව දෙනවා" යැයිද අතිශය නිහතමානී වූ අප සාරිපුත්ත මහ රහතන් වහන්සේ පිළිතුරු දුන්නා.
බුදුරජාණන් වහන්සේගේ අග්‍රශාවකයන් වහන්සේ වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේට අභූත චෝදනා කිරීමෙන්, ඒ අප්‍රකට භික්ෂුව සිදුකර ගැනීමට ගිය මහා පාපය, සාරිපුත්තයන් වහන්සේගේම අප්‍රමාණ වූ කරුණාව ප්රකටව සංසිඳී ගියේ, එතරම් අභූතයෙන් චෝදනා කළ ඒ හිස් පුද්ගලයාට පවා උන්වහන්සේ දරුවන් වදන මවක මෙන්, මේ ආර්ය ශාසනයේ පිහිට ලබාදෙන්නට කටයුතු කළා.
ප්‍රඥාවෙන් මුදුන් වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ මේ අභීත සිංහනාදයෙන් මහපොළොව නව වරක් කම්පා වූයේ එය ඇත්ත ඇති සැටියට විදහා දැක්වූ අසිරිමත් සත්‍ය ප්‍රකාශයක් වූ නිසාමයි. ඒ අන් දෙයක් නොව, බොහෝ කලක් පෙරුම් පුරා අවබෝධ කොටගත් චතුරාර්ය සත්‍යය පිළිබඳ ඥානයයි. ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය, ඒ සත්‍යය අවබෝධ කොට ගෙන අපගේ සිරුරත් පිස්නාකඩකට සමකොට දකින්නට, ප්‍රඥාව වැඩීමට මේ කාලයයි.
(සාරිපුත්ත සීහනාද සූත්‍රය ඇසුරෙනි)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

