යුරෝපා සංගමය සහාය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන (EU-SDDP) යටතේ යුරෝ මිලියන 60ක් (රු.මිලියන 9,000ක්) ශ්‍රී ලංකාව වෙත ලබාදීමට තීරණය කර ඇති බව පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී යුරෝපා සංගමයේ නියෝජිතයන් විසින් නිවේදනය කරන ලදී.
ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා වැඩිදායකත්වයක් සපයන සංවිධානයක් වන යුරෝපා සංගමය, මෙරට ක්‍රියාත්මක කරන සංවර්ධන සහයෝගී වැඩසටහන් යටතේ මෙම දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන බව පවසයි.
මෙම වැඩසටහන වවුනියාව, මන්නාරම, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක මෙන්ම ආපදාවට ලක් වූ අනුරාධපුර, පුත්තලම සහ මොනරාගල යන යාබද දිස්ත්‍රික්කවල ජනතාවටද සහාය දීමේ අරමුණ පෙරදැරිව 2012 වසරේ සිට ක්‍රියාත්මක වන පස් අවුරුදු සංවර්ධන සහයෝගී වැඩසටහනකි.
මෙම වැඩසටහන, දුගීබව අවම කිරීම සහ මූලික යටිතල පහසුකම් සම්පාදනය සහ අවදානමට ලක් වූ ජනතාව සඳහා සේවා සැපයීම, ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනය සඳහා සහයෝගය දැක්වීම සහ ප්‍රාදේශීය පරිපාලන යාන්ත්‍රණය යන ප්‍රධාන අරමුණු තුනක් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන බව පවසයි.
එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත සුබිනේ නැන්දි, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් තානාපති ඩේවිඩ් ඩේලි, යුරෝපා සංගම් නියෝජිත මණ්ඩලයේ සහයෝගී ප්‍රධානී ලිබූසේ සෝකුපෝවා යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගි වූ අතර, රජය, යුරෝපා සංගමය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්යහන්තර මුල්‍ය සංස්ථාව වැනි සංවිධාන නියෝජනය කරමින්ද සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වී සිටියහ.