එදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් තම පාලනයට අයත් රටවල ආදායම් බ්‍රිතාන්‍යයට ගෙන්වා ගැනීමට දෙපාර්තමේන්තු පිහිටුවා ගත්තත්, දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අරමුණ බලය ප්‍රජා මූල සංවිධානවලට ලබාදීම බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ අලුතින් පිහිටුවන ලද දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව නිත්‍යනුකූල බවට පත්කරන ගැසට් නිවේදනයට ඊයේ (3දා) පෙරවරු 10.27ට යෙදුනු සුබ මොහොතින් අත්සන් කිරීමෙන් අනතුරුව එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති උත්සව සභාවේදීය.
ඉකුත් වසර කිහිපය තුළ සර්ව ආර්ථික කටයුතු පිළිබඳව පැහැදිලි ප්‍රතිපත්ති මාලාවක් ඔස්සේ ගමන් කරමින් යටත් විජිතවාදී යුගය සහ ඉන් පසුව රටේ උදාවූ බැරෑරුම් ප්‍රශ්ණ රැසක් නිරාකරණය කරමින් ශක්තිමත් අඩිතාලමක් මත 2014 ආරම්භ කළ බව පැවසූ අමාත්‍යවරයා, ආසියාවේ ආශ්චර්ය බවට ශ්‍රී ලංකාව ගමන් කරන වසර මෙය බවද පැවසීය. ඒ අනුව, මේ වනවිට ඉතිරිව ඇත්තේ මැද සංවර්ධිත රටක් වශයෙන් ඇතිවන ප්‍රශ්නවලට පිළිතුරුදීම බවද අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සුසන්ත පුංචිනිලමේ, මුත්තු සිවලිංගම් ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරු පිරිසක්ද, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු පිරිසක්ද, දිසා ලේකම්වරු සහ දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂකවරු, සංස්ථා සභාපතිවරු ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් කිහිප දෙනෙක්ද, සමෘද්ධි වෘත්තිය සමිති සංගම්වල ක්‍රියාකාරකයින් ඇතුළු නියෝජිතයින් විශාල පිරිසක්ද එක්ව සිටියහ.