විද්‍යුත් ගෙවීම් ආර්ථිකයක් ක්‍රියාත්මක කිරීම සඳහා නව සොයාගැනීම් දිරිමත් කිරීම අතිශය වැදගත් වුවත්, රටක එහි දිගුකාලීන තිරසාර සංවර්ධනය සඳහා සුරක්ෂිත, කාර්යක්ෂම සහ ඵලදායී ගෙවීම් පද්ධතියක් පවත්වාගෙන යාම සහ එවැන්නක් ඇති කිරීම සඳහා පවතින රෙගුලාසිවලට අනුගත වීම වැදගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) හා ටෝටල් පේ ආයතනය පිළිබඳව මාධ්‍ය මගින් පළ වූ තොරතුරු සම්බන්ධයෙන් ජනතාවට කරුණු පැහැදිලි කිරීම සහ ජාතික ගෙවීම් වේදිකාව සම්බන්ධයෙන් පවත්නා තත්ත්වය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් මෙම කරුණු අනාවරණය කරයි.
එහිදී, ශ්‍රී ලංකා මහ බැංකුවේ දායකත්වය ඇතිව ගෙවීම් ක්ෂේත්රයේ සිදුකරනලද වැඩිදියුණු කිරීම් කරුණු 14ක් යටතේ ගෙනහැර දක්වා ඇති අතර, 2015 මැයි 13 වැනිදා ICTA ආයතනය ජාතික ගෙවීම් වේදිකාව පිළිබඳ යෝජනාව ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරිපත් කළ විට එහි පද්ධති දියුණු කිරීම්, මෙහෙයුම් අත්පොත්, පද්ධති සුරක්ෂිතභාවය, පද්ධති ප්රමිතීන් සම්බන්ධයෙන් අනුගතවීම් සහ බාහිර පද්ධති විගුණන රාමුව පිළිබඳ දැනගැනීම සඳහා වැඩිදුර තොරතුරු එම ආයතනයෙන් ඉල්ලා සිටි බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
කෙසේ වෙතත්, මේ දක්වා ඒ සඳහා එම ආයතනයෙන් ප්‍රතිචාරයක් නොලැබුණු බවත්, ගනුදෙනුකරුවන්ගේ ගනුදෙනු හා තොරතුරුවල ආරක්ෂාව සම්බන්ධයේන අවධානයට ලක්වූ කරුණු පිළිබඳවද එම ආයතනයෙන් කිසිදු ප්‍රතිචාරයක් මේ දක්වා නොලැබීම නිසා ජාතික ගෙවීම් වේදිකාවේ ශක්‍යතාව පිළිබඳ අදහස් දැක්වීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකියාවක් නොමැති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.