කොළඹ කොටස් වෙළෙඳ පොළ මධ්‍යම තැන්පතු ක්‍රමය (CDS) සඳහා නවතම පද්ධතියක් නිල වශයෙන් හඳුන්වා දෙමින් කොටස් ගනුදෙනු ඉතිහාසයේ නව පරිච්ඡේදයකට මුල පිරීම ඊයේ (02දා) සිදුවූ අතර, ස්වයංක්‍රීය ගනුදෙනු පද්ධතිය ඉහළ නැංවීමද මෙහිදී සිදුවිය.
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙහි පිහිටි කොළඹ කොටස් වෙළෙඳ පොළ භූමියෙහිදී සීනුව නාද කොට මෙම නව CDS පද්ධතිය නිල වශයෙන් හඳුන්වාදීම එහිදී සිදුවූ අතර, මේ ආකාරයට විශේෂ අවස්ථාවලදී සීනුව නාද කොට ගනුදෙනු ආරම්භ කිරීම ගෝලීය වශයෙන් බොහෝ කොටස් වෙළෙඳපොළවල්හි දක්නට ලැබෙන සම්ප්රදායක් ලෙස සැලකෙයි.
එය අනුගමනය කරමින් කොළඹ කොටස් වෙළෙඳ පොළද අභිනවයෙන් ලයිස්තුගතවූ සමාගම් තම ගනුදෙනු වීම ආරම්භ කරන පළමු වැනි දිනයේදී මෙන්ම, මෙවන් සුවිශේෂී අවස්ථාවලදී සීනුව නාද කිරීම කරනු ලබන අතර, එහිදී විශේෂ ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් ඉදිරියේදී මෙම සම්ප්රදාය නොකඩවා කරගෙන යාමට අපේක්ෂා කරන බවත් පැවසුණි.