කොටස් වෙළෙඳපොළ ආයෝජනය සම්බන්ධයෙන් ආයෝජකයන්ට පැන නඟින ගැටලු සහ ඒ සඳහා පිළිතුරු මීට පෙරද 'අද' ජාතික පුවත්පතේ, 'දැනුමෙන් ආයෝජනයට' ලිපියෙන් අපි සාකච්ඡා කළෙමු. මෙම ලිපිය මගින්ද අපි උත්සාහ කරන්නේ නවක ආයෝජකයන්ට කොටස් වෙළෙඳ පොළ ආයෝජනය සම්බන්ධයෙන් පැන නඟින ගැටලු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමය.
Q. තමන් මිලදී ගන්නා කොටස් ඕනෑම වෙලාවක විකිණිය හැකිද?
මෙය කොටස් වෙළෙඳ පොළ ආයෝජනයේදී බොහෝ නවක ආයෝජකයන්ට පැන නඟින ගැටලුවකි. ඔවුන් සිතන්නේ කොටස් මිලදීගත් පසු යම් කාලයක් ගිණුමෙහි රඳවා තැබිය යුතු බවය. සාමාන්‍යයක් වශයෙන් කොටස් වෙළෙඳ පොළ යනු දිගුකාලීන ආයෝජනයකි. එමගින් සැලකිය යුතු ප්‍රතිලාභයක් ලැබීමට නම් සත්‍ය වශයෙන්ම යම් කාලයක් කොටස් රඳවා තැබිය යුතුය.
නිශ්චිතව රඳවා තැබිය යුතු නොවේ
නමුත් ඔබ මිලදී ගත් කොටස් තම ගිණුමෙහි යම් නිශ්චිත කාලයක් රඳවා තැබිය යුතු යැයි සඳහනක් කොටස් වෙළෙඳ පොළ ආයෝජනයෙහි දක්නට නැත. යම් කෙනෙකුට අවශ්‍ය නම් පවතින වෙළෙඳ පොළ මිල ගණන් යටතේ ඕනෑම වෙලාවක එය අලෙවි කර ගැනීමට හැකියාව ඇත. ගැටලුව වන්නේ කොටස් අලෙවි කරන අවස්ථාව වනවිට ආයෝජකයා කොටස් මිලදීගත් මිලට වඩා වෙළෙඳ පොළ මිල අඩු වී ඇත්නම්ය. එවිට ආයෝජකයා කළ යුත්තේ කලබල වී වැරදි තීරණ ගෙන කොටස් ආයෝජනයෙන් පාඩු විඳීම නොව, නිවැරදි තීරණ ගෙන පාඩු අවමකර ගැනීමට කටයුතු කිරීමත් සහ ප්රතිලාභ ඉහළ නංවා ගැනීමටත් පිළියම් යෙදීමය. ඒ සඳහා ආයෝජකයෙකුට කළ හැකි දේ බොහෝය.
ආයෝජන උපදෙස් ඉතා වැදගත්ය
ආයෝජනය සම්බන්ධයෙන් තම කොටස් තැරැව්කාර ආයතනයේ ආයෝජන උපදේශකවරයා සමග සම්බන්ධ වෙමින් අවශ්‍ය උපදෙස් ලබාගැනීම සිදුකළ යුතුය. තමන් කොටස් මිලදී ගත් සමාගමෙහි කොටස් මිල අඩුවී ඇත්තේ කුමන හේතු නිසාද, එය කොපමණ කාලයකට බලපාවිද යන්න දැනුවත් බවක් සහිතව ආයෝජනයෙහි නිරත විය හැකිය. එය කළ නොහැකි දෙයක් නොව, ඉතා පහසුවෙන් ඒ පිළිබඳව අවශ්‍ය තොරතුරු සොයාබලා තීරණ ගැනීම කළ හැකිය. එය නිවැරදි ආයෝජකයකුගේ ලක්ෂණයකි.
ආයෝජනය සම්බන්ධයෙන් ස්වයං අධ්‍යයනයක් අවශ්‍යය
තමන් විසින්ම ආයෝජනය සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකිරීමද කළ හැකි දෙයකි. එය අන් කවරකටත් වඩා තමන්ට විශ්වාසවන්තම ක්රියාමාර්ගයකි. අදාළ සමාගම හෝ සමාගම්වල තත්ත්වයන් පිළිබඳව තමන්ටම විමසා බැලීමක් සිදුකළ හැකිය. සමාගම්වල නිෂ්පාදන හා සේවා මොනවාද, මේ දිනවල ඒ සඳහා පවතින ඉල්ලුම් සැපයුම් තත්ත්ව කෙසේද, රටේ ආර්ථික තත්ත්වය සහ එය ගමන් කරන දිශාව ආදී කරුණු පිළිබඳව ඕනෑම පුද්ගලයෙකුට යම් අවබෝධයක් සමාන්‍ය තරමින් හෝ තිබීම සෑම අංශයකින්ම වැදගත්ය. මේ නිසා ආයෝජනය සම්බන්ධයෙන් ස්වයං අධ්‍යයනයක් සිදුකිරීම ආයෝජකයාට වාසිදායක වේ.
මෙවැනි කරුණු පිළිබඳව අවධානයකින් පසුවීම තුළ ආයෝජකයකුට තම ගිණුමෙහි ඇති කොටස් ඕනෑම අවස්ථාවක විකුණා මුදල් කර ගැනීමට හැකියාව පවතින අතර, කාලය පිළිබඳ ප්‍රශ්නයක් පැන නොනගී. එසේම පාඩු අවම කරගෙන ආයෝජනයෙහි නිරත වීමටත් ඉහළ ප්රතිලාභ ලබා ගැනීමටත් ඉඩකඩ ලැබේ.
Q. කොපමණ මුදලක් ආයෝජනය සඳහා අවශ්‍යද?
බොහෝ නවක ආයෝජකයන් විවිධ අවස්ථාවල යොමුකරන ප්‍රශ්නයක් වන්නේ කොපමණ මුදල් ආයෝජනය සඳහා අවශ්‍යද යන්නයි. එයින් පෙන්නුම් කරන්නේ ඔවුන් මුදල් වෙළෙඳ පොළ, බැංකු සමග කොපමණ බද්ධ වී සිටිනවාද යන්නය. එහිදී, ඔවුන්ගේ අරමුණ වන්නේ යම් නිශ්චිත මුදලක් බැංකු වැනි ස්ථානවල ආයෝජනය කර, සථිර ප්‍රතිලාභයක් අපේකෂා කිරීමය. ඔවුන් පුරුදුව සිටින්නේ ආයෝජනය හෝ මුදල් යොදවා ප්‍රතිලාභය ලැබෙන තුරු පසෙකට වී බලා සිටීමටය. නමුත්, කොටස් වෙළෙඳ පොළ ආයෝජනය යනු ව්‍යාපාරවල අයිතිකරුවන් බවට පත්වීමක්, දිගුකාලීන ආයෝජනයක්, විවිධ ප්රතිලාභ ලැබිය හැකි ආයෝජනයක් ආදී වශයෙන් ලක්ෂණ සහිත දෙයක් බව වටහා ගෙන ආයෝජනය කරන්නේ සීමිත පිරිසකි.
මේ නිසා කාටස් වෙළෙඳ පොළ ආයෝජනයේදී නිශ්චිත මුදලක් අවශ්‍ය යැයි අදහසක් නැත. එමෙන්ම විවිධ සමාගම්වල විවිධ මිල ගණන් යටතේ කොටස් ගනුදෙනු වන අතර, තමන්ට කැමති සමාගමක පවතින මිල ගණන්වලට අනුව කොටස් මිලදී ගත හැකිය. එය ආයෝජකයාගේ අයිතියකි. එයට බලපෑම් කිරීමට කිසිවෙක් නොමැත. එමෙන්ම එය නිදහස් ආයෝජනයකි. අතේ තිබෙන මුදලට අවශ්‍ය කොටස් ප්‍රමාණයක් මිලදී ගත හැකිය.
Q. කොටස් ගිණුම් කිහිපයක් ආරම්භ කිරීම වරදක්ද?
යම් ආයෝජකයෙකුට තමන් නමින් කොටස් ගිණුම් කිහිපයක් පවත්වාගෙන යා හැකිය. ඒ සඳහා කිසිදු නීතිමය බාධාවක් නොමැත. එක් එක් කොටස් තැරැව්කාර සමාගම් තුළ වෙන් වෙන් වශයෙන් ගිණුම් විවෘත කර ගනුදෙනු කරන ආයෝජකයන් විශාල සංඛ්‍යාවක් දැකගත හැකිය. එකම පුද්ගලයාගේ නමින් විවිධ කොටස් තැරැව්කාර ආයතනවලින් අරම්භ කරන ගිණුම් වෙන් වෙන් වශයෙන් පවත්වාගෙන යනු ලබයි. එම ගිණුම් අතර සම්බන්ධතාවක් නොමැත.
එහෙත් යම් පුද්ගලයෙකුට අවශ්‍ය නම් තම ගිණුම වෙනත් කොටස් තැරැව්කාර ආයතනයකට මාරු කර ගැනීමක් සිදු කළ හැකිය. එමෙන්ම යම් තැරැව්කාර ආයතනයක් තුළින් ගනුදෙනු කිරීම නවත්වා දැමීමට අවශ්‍ය නම් එහි තම ගිණුමෙහි ඇති කොටස් විකුණා ගනුදෙනු අවසන් කළ හැකිය. ඒ සඳහා ආයෝජකයන්ට නිදහස ලැබී තිබීම අනෙකුත් ආයෝජන හා සැසඳීමේදී කොටස් ආයෝජනයෙහි ඇති විශේෂත්වයකි.
Q. අන් අය අනුකරණයට යාම අවදානම්ද?
සමහර ආයෝජකයන් යම් යම් ආයෝජකයන් පසු පස හඹා යාමක් හෙවත් අනුකරණයට යාම කලින් කලට කොටස් වෙළෙඳ පොළ ආයෝජනය තුළ දැකගත හැකි ලක්ෂණයකි. අනුකරණය යනු යමෙක් කොටස් මිලදී ගන්නා විට තමනුත් කොටස් මිලදී ගැනීම හා විකුණනු ලබන විට තමනුත් කොටස් විකිණීමෙහි නිරත වීමය. සමහර අය මෙසේ අනුකරණයට යන්නේ තරමක මහා පරිමාණ ගනුදෙනුවලට අනුවය. කොටස් මිලදී ගැනීම හෝ විකිණීමට ආයෝජකයෙකුට අයිතියක් ඇති අතර, ඒ සඳහා බලපෑමක් කළ නොහැකිය. නමුත් නවක ආයෝජකයන් විශේෂයෙන්ම සිදුනොකළ යුතු දෙයක් වන්නේ අනුන් අනුකරණයට යාමය. එසේ අනුකරණයට ගොස් වාසි අත්කර ගත් අයද සිටිය හැකිය. එසේම එහි අනෙක් අන්තය වන පාඩු විඳි අයද සිටිය හැකිය. කෙසේ වුවද අනුකරණයට යාම එතරම් සුදුසු දෙයක් යැයි කිව නොහැකිය.
Q. සමාගම් ලාභාංශ ගෙවන්නේ කොපමණ කාලයකට වරක්ද?
බොහෝ නවක ආයෝජකයන්ට පැන නගින තවත් ප්‍රශ්නයක් වන්නේ සමාගම් ලාභාංශ ගෙවන්නේ කොපමණ කාලයකට වරක්ද යන්නය. සමාන්‍යයෙන් සමාගම් ලාභාංශ ගෙවන්නේ කාර්තුවකට (මාස 3කට වරක්) වරක්, කාර්තු දෙකකට (මාස 6කට වරක්) වරක්, කාර්තු 3කට (මාස 9කට වරක්) වරක් හෝ වර්ෂය අවසානයේ විය හැකිය. සමහර අවස්ථාවල කොටස් වෙළෙඳ පොළ ආයෝජනය සම්බන්ධ ලිපි ලේඛනවල මේවා කාර්තුමය ලාභාංශ, අවසාන ලාභාංශ යනාදී වශයෙන්ද හඳුන්වනු ලබයි. සමාගම් සාමාන්‍යක් වශයෙන් මෙසේ ලාභාංශ ගෙවීම් සිදුකළද එය අනිවාර්ය දෙයක් නොවන බව දන්නේද දැනට ආයෝජනය කරන්නන්ගෙන් සීමිත පිරිසකි. මේ නිසා කොටස් වෙළෙඳ පොළ ආයෝජනයට නවක ඔබ දැන සිටිය යුතු කරුණක් වන්නේ ඔබ යම් සමාගමක කොටස් මිලදී ගත් සැණින් එමගින් ලාභාංශ ගෙවීමක් සිදු නොකරන බවය.
විශේෂයෙන්ම සමාගමක් ලාභාංශ ගෙවනවා යනු සමාගම් වසර පුරා හෝ කාර්තුවකට වරක් සිදුකළ ව්‍යාපාර මෙහෙයුම් හරහා උපයාගත් ලාභයෙන් කොටසක් සමාගමේ කොටස් හිමියන් අතර බෙදාහැරීමය. ඒ සඳහා සමාගමක් ලාභ ලැබිය යුතුය. ලාභ නොලබා ලාභාංශ ගෙවීමක් සිදුකරන්නේ නැත. මේ නිසා ඔබ මිලදී ගන්නා සෑම සමාගමක්ම ලාභාංශ ගෙවීමක් සිදුකරනවා යනුවෙන් අදහස් නොකළ යුතුය.
Q. කොටස් ආයෝජනයේදී ප්‍රතිලාභය විදිහට ආයෝජකයන්ට ලැබෙන්නේ ලාභාංශ විතරද?
සමහර ආයෝජකයන් සිතන්නේ සමාගම්වල කොටස් මිලදී ගැනීමෙන් පසු කොටස් සඳහා ලැබෙන්නේ ලාභාංශ පමණක් බවය. නමුත් එය වැරදි නිගමනයකි. කොටස් ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලභ විවිධාකාර විය හැකිය. ඒ අනුව, ලාභාංශවලට අමතරව සමාගමක් තම කොටස් හිමියන්ට නොමිලේ කොටස් ලබාදෙන අවස්ථා දැකගත හැකිය. එසේම වෙළෙඳ පොළෙහි සමගම්හි කොටස් අලෙවි වන මිලට වඩා අඩු මිල ගණන්වලට කොටස් මිලදී ගැනීමට ආයෝජකයාට අවස්ථාවක් ඇත. මේ සියල්ලටම වඩා වැදගත් ප්‍රතිලාභයක් වන්නේ ප්‍රාග්ධන ලාභයයි. එහෙත් ප්‍රාග්ධන ලාභ ලැබිය හැක්කේ කොටස් විකිණීමෙන් අනතුරුවය. මේවාට අමතරව ලැබෙන වෙනත් විශේෂ වාසිද කොටස් වෙළෙඳ පොළ ආයෝජනයේදී දැකගත හැකි වේ.
Q. කොටස් වෙළෙඳ පොළ එක් එක් ආයෝජකයන්ට වෙන් වෙන් වශයෙන් සළකනවාද?
එය කොටස් වෙළෙඳ පොළක් තුළ කිසිසේත්ම සිදු නොවන්නකි. ඕනෑම කොටස් වෙළෙඳ පොළක වගකීමක් වන්නේ සෑම ආයෝජකයෙකුටම සමානව සැළකීමය. එමෙන්ම එහි පවත්නා නීතිරීති සැමටම සමාන විය යුතුය. සැමටම එකහා සමාන ප්රතිලාභ ලැබීමේ අවස්ථා උදාකර දිය යුතුය. තවද, කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු පූර්ණ විනිවිදභාවයකින් සිදුකිරීමද එහි ඇති විශේෂත්වයකි. මේ නිසා රටක පවතින ආරක්ෂිත ආයෝජන මාර්ගයක් වශයෙන් කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය පෙන්වා දිය හැකිය. මේ නිසා යහළුවන්, නිතර ගනුදෙනු කරන්නන්, මහා පරිමාණ ආයෝජකයන් කියා කිසිදු වෙනසක් සිදුනොකොට, දැනට ආයෝජනය කරන්නන් සහ ඉදිරියේදී ආයෝජනයට ප්‍රවිෂ්ඨ වන පුද්ගලයන්ටද, ගනුදෙනුවලදී එකහා සමාන සැලකීමක් කොටස් වෙළෙඳ පොළ ආයෝජනයේදී දැකිය හැකිය.
Q. විශ්‍රාමිකයන්ට කොටස් වෙළෙඳපොළ ආයෝජනය නුසුදුසුද?
කොටස් වෙළෙඳ පොළ ආයෝජනය තුළ විවිධ පුද්ගලයන් සිටින බව නොරහසකි. විශ්වවිද්‍යාල සිසුන්, ගුරුභවතන්, ව්‍යාපාරිකයන්, රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්, වෘත්තිකයන් ඇතුළු විවිධ තරාතිරමේ අය මේ වනවිට කොටස් ආයෝජනය හා සම්බන්ධ වී සිටියි. මේ සියල්ලන් අතර සිටින තවත් ආයොජකයන් පිරිසක් වන්නේ විශ්රාමිකයන්ය. මෙහිදී සඳහන් කළ යුතු විශේෂ කරුණක් වන්නේ විශ්‍රාමිකයන්ට කොටස් වෙළෙඳ පොළ නුසුදුසු ආයෝජනයක් නොවන බවය. එහෙත් ඔවුන් තම ආයෝජන සිදුකරන ආකාරය නිවැරදිව තේරුම් ගත යුතුය. ඒ තමන්ට දිගුකාලීනව විශාල අයෝජන වෙත යොමු වීමට ඇති අවස්ථාව තරමක් අඩු බැවිනි. ඒ නිසා ඔවුන් සිදුකළ යුත්තේ තම විශ්‍රාම දිවිය නියමාකාරයෙන් ගතකළ හැකි පරිදි සුදුසු ආයෝජන කලඹක් සකස් කර ගැනීමය. එදිනෙදා වියදම් සඳහා ඔවුන්ට මුදල් අවශ්‍ය බව සැබෑය. වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුදල් අවශ්‍යය. ඒ අනුව, එම වියදම්ද ආවරණය වන පරිදි ස්ථාවර බැංකු තැන්පතු, ආදායම් සුරැකුම්පත් (ණයකර, භාණ්ඩාගාර බිල්පත් ආදී..) හා කොටස් වෙළෙඳ පොළ තුළ තම මුදල් නිසි කළමනාකරණයක් සහිතව යෙදවිය යුතුය.
තවද, සමහර විශ්‍රාමික නිලධාරීන් නවක ආයෝජකයන් වශයෙන් තමන් සතු සියලුම මුදල් එකවර කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කිරීමට සූදානම් වන අවස්ථාද ඇත. නමුත්, එවැන්නන් කළ යුත්තේ නිවැරදි ආයෝජන උපදෙස් ලබාගෙන මනා සැලසුම් සහගත හොඳ ආයෝජන කලඹක් සකස්කර ගැනීමය. එවිට තමන්ට සතුටු විය හැකි, තම අපේක්ෂා ඉටුකර ගත හැකි අයුරින් ප්රතිලාභ ලැබීමට කොටස් වෙළෙඳ පොළ ආයෝජනය ඇතුළු අනෙකුත් ආයෝජන මාර්ග හරහා හැකියාව ලැබෙනු ඇත. මේ නිසා විශ්‍රාමිකයන්ට කොටස් වෙළෙඳ පොළ නුසුදුසු තැනක් නොවේ.