ඔබ පසුගිය දිනවල පුවත්පත්, රූපවාහිනී හා මගදෙපස දැන්වීම් පුවරු බැලූ කෙනෙක් නම් 'කොටස් වෙළෙඳ පොළෙන් කෝටිපතියෙකු වීම' යන අදහස දෙන වැකි හුරුපුරුදු අයෙකු වීමට පුළුවන. එසේත් නැත්නම් මෙවැනි අදහස් සහිත පත්‍රිකාවක් ඉමේල් මගින් හෝ ලැබූ අයෙක් වීමටද පුළුවන. ලෝකයේ කොටස් වෙළෙඳ පොළවල ආයෝජනය කර කෝටිපතියන් වූ වොරන් බෆට් වැනි ආයෝජකයන් පිළිබඳව අපි අසා ඇත්තෙමු. එමෙන්ම, නිසි දැනුමකින් තොරව කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කර තමන් ආයෝජනය කළ මුදල අඩු කරගත් ආයෝජකයන් පිළිබඳවද අපි අසා ඇත්තෙමු.
නමුදු, අප සිහියේ තබාගත යුතු වන්නේ, කොටස් වෙළෙඳ පොළද මූලිකවම ආයෝජන මාර්ගයක් බවය. එහෙත්, සෑම ආයෝජන මාර්ගයක මෙන්ම මෙහිද ඉහළ ප්‍රතිලාභයක් මෙන්ම යම් අවදානමක්ද පවතී. කොටස් වෙළෙඳ පොළෙන් කෝටිපතියෙකු වීමක් පැවසූ පමණින් එවැන්නක් කියවන පුද්ගලයකුගේ අදහස වන්නේ කොටස් වෙළෙඳ පොළෙන් බිහිකරන්නේ කෝටිපතියන් පමණක් බවය. එයත් එක් ආයෝජන මාර්ගයක් බවත්, අනෙකුත් ආයෝජන මාර්ග මෙන්ම මෙහිද අවදානමක් ඇති බවත් ඉන් ගම්‍ය නොවේ. එය එක්තරා ආකාරයකට ආයෝජකයා මුලා කිරීමක් විය හැකිය. විශේෂයෙන්ම සැබෑ ආයෝජනයක ප්‍රතිරූපය එයින් විද්‍යාමාන නොවේ. අනෙකුත් ආයෝජන මාර්ග මෙන්ම කොටස් වෙළෙඳ පොළ තුළින්ද සහතික කළ ප්‍රතිලාභයක් කිසිවකු හටත් නිර්දේශ කළ නොහැකිය. එය ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේ සියලුම කොටස් වෙළෙඳ පොළවලට පොදුය. ආයෝජකයන් කොටස් වෙළෙඳ පොළේ මුදල් යොදවනු ලබන්නේ ඉතිරිකිරීම්වලට සාපේක්ෂව ඉහළ ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙනි.
කෙසේ වෙතත්, කොටස් වෙළෙඳ පොළෙන් කෝටිපතියකු වීමට නම්, ඔබ විසින් සිදුකළ යුත්තේ, එහි නැණවත්ව ආයෝජනය කිරීමය. එමෙන්ම ආයෝජනය කිරීමේදී වර්තමානයේ ඇති නීතිරීති රාමුව තුළ එම ආයෝජනය සිදුකිරීම වැදගත්ය.
වර්තමානයේදී කොටස් වෙළෙඳ පොළ ඇතුළු ප්‍රාග්ධන වෙළෙඳ පොළේ නියාමකයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවයි. එසේම, කොටස් වෙළෙඳ පොළට අවශ්‍ය යටිතල පහසුකම් සකසා එය පවත්වාගෙන යනු ලබන්නේ කොළඹ කොටස් වෙළෙඳ පොළයි. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පිහිටුවා ඇත්තේ 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත යටතේය. මේ පනත මගින් කොටස් වෙළෙඳ පොළ ඇතුළු ප්‍රාග්ධන වෙළෙඳ පොළ නියාමනය කරන ආකාරය මෙන්ම එයට බලපාන නීතිරීතිද ඇතුළත් කර ඇත. එමෙන්ම කොටස් වෙළෙඳ පොළ මගින්ද කොටස් වෙළෙඳ පොළේ ඇති ලැයිස්තුගත සමාගම්වලට මෙන්ම කොටස් වෙළෙඳ පොළේ කොටස් තැරැව්කාර ආයතන සඳහා බලපාන නීතිරීතිද ක්‍රියාත්මක කරනු ලබයි.
ඔබ කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන අයෙක් නම්, ඔබ විසින් මුලින්ම සිදුකළ යුත්තේ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් බලපත්‍ර ලබාදී ඇති කොටස් තැරැව්කාර ආයතනයක් වෙත ගොස් ඔවුන් හරහා ගිණුමක් විවෘත කර ගැනීමය. මෙසේ ආරම්භ කරන ගිණුම CDS ගිණුමක් හෙවත් මධ්‍යම තැන්පතු ක්රමයේ ගිණුමක් ලෙස හඳුන්වනු ලබයි.
ශ්‍රී ලංකාවේ දැනට සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව මගින් බලපත්‍ර ලබාදී ඇති කොටස් තැරැව්කාර ආයතන 36 ක් පවතී. මෙම ආයතන 36 තුළ ණයකර පමණක් ගනුදෙනු කළ හැකි කොටස් තැරැව්කාර ආයතන 8 ක්ද පවතී. ඔබ කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරයි නම් එසේ ආයෝජනය කළ හැක්කේ මෙම තැරැව්කාර ආයතන හරහා පමණි.
මෙම තැරැව්කාර ආයතන මගින් ඔබට උපදෙස් දීම සඳහා ආයෝජන උපදේශකයන් යොදවා ඇති අතර ඔබට ලබාදෙන ආයෝජන උපදේශක ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව මගින් පවත්වනු ලබන ආයෝජන උපදේශක පාඨමාලාව සමත් සහතිකලත් ආයෝජන උපදේශකයෙකුද විය යුතුය. කොටස් වෙළෙඳ පොළේදී ඔබ හට ගනුදෙනු කිරීමට උපදෙස් ලබාදිය හැක්කේ කොටස් තැරැව්කාර ආයතනය මගින් එලෙස සේවයේ යොදවා සිටින මෙම සහතිකලත් ආයෝජන උපදේශකයන්ට පමණි.
මෙම ආයෝජන උපදේශකයන්ට අමතරව කොටස් තැරැව්කාර ආයතන විසින් තම ආයතනය සඳහා නියෝජිතයන්ද (Agents) පත්කර ඇත. මෙම නියෝජිතයන් පුද්ගලයෙකු හෝ ආයතනයක් විය හැකිය. මෙම නියෝජිතයන්ගේ කාර්යභාරය ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළේ තැරැව්කාර ආයතන සඳහා වන නීතිරීතිවල දක්වා ඇත්තේ, තැරැව්කාර ආයතන සඳහා නව ආයෝජකයන් හඳුන්වාදීමක් ලෙසය. මෙම නියෝජිතයන් හට ඔබට කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීමට උපදෙස් ලබාදීමක් හෝ ඔබ වෙනුවෙන් ගනුදෙනු කිරීමට හැකියාවක් නොමැත. නියෝජිතයන් සිදුකළ යුත්තේ නව ආයෝජකයන් කොටස් තැරැව්කාර ආයතනය වෙත හඳුන්වා දීමක් පමණි.
ඒ අනුව, ඔබ නියෝජිතයකු හරහා කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන්නේ නම් මේ පිළිබඳව ඉතාමත් සැළකිලිමත් විය යුතුය. යම්කිසි නියෝජිතායතනයක් මෙම කරුණුවලට පිටින් කටයුතු කළහොත් එය නීති විරෝධී වන අතර, එම ආයතනය හා කටයුතු කරන ආයෝජකයන්ටද ආරක්ෂාවක් නොමැති බව තරයේ සිහියේ තබාගත යුතුය. එහිදී, කොළඹ කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කර කෝටිපතියකු වීම කෙසේ වෙතත් තමා ආයෝජනය කළ මුදලවත් ආරක්ෂා කරගැනීමට එයින් ආයෝජකයන්ට ඉඩ ලැබේදැයි සැක සහිතය.
කෙසේ වෙතත්, මෙයින් අදහස් වන්නේ ලියාපදිංචි කොටස් තැරැව්කාර ආයතන මගින් ලබාදෙන ආයෝජන උපදේශන සියයට සියයක් නිවැරදි වන බව නොවේ. එනමුදු, ඔවුන් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් වෙළෙඳ පොළේ නිසි නියාමනයකට ලක්වෙයි. කොටස් වෙළෙඳ පොළේ කොටස් තැරැව්කාර ආයතන සඳහා වන නීතිරීති අනුව කොටස් තැරැව්කාර ආයතනයක් යනු ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙන් කොටස් තැරැව්කාර ආයතනයක් ලෙස කටයුතු කිරීමට බලපත්‍රයක් ලබාදී ඇති ආයතනයකි. එසේම, එම ආයතනය කොළඹ කොටස් වෙළෙඳ පොළේ සාමාජිකත්වයද ලබාගත යුතු වේ. එම කොටස් තැරැව්කාර ආයතන සඳහා බලපාන වෙන වෙන නීතිරීති පද්ධතියක්ද පවතී.
ලොව පුරා කොටස් තැරැව්කාර ආයතනවල ප්‍රධාන කාර්යභාරයන් කිහිපයක් පවතී. ඒවා අතර ප්‍රධාන වන්නේ ආයෝජකයන් වෙනුවෙන් කොටස් වෙළෙඳ පොළ තුළ ගනුදෙනු කිරීමත්, ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය වන ආයෝජන උපදෙස් ලබාදීමත්ය. කොටස් තැරැව්කාර ආයතනය මගින් එම ආයෝජන උපදේශන ලබාදෙන්නේ ඔවුන් විසින් සිදුකරනු ලබන සමීක්ෂණ වාර්තා පදනම් කරගෙනය. එම සමීක්ෂණ වාර්තා බොහෝවිට ඔවුන් තම ආයෝජකයන් වෙනුවෙන් ලබාදෙයි. මෙසේ කොටස් තැරැව්කාර ආයතනයක් බවට පත්ව නොමැති (ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් වෙළෙඳ පොළේ අවසරයකින් තොරව සහ බලපත්‍රයක් රහිතව) මහජනයා වෙත තමන් කොටස් තැරැව්කාර ආයතනයක් බවත්, කොටස් තැරැව්කාර ආයතන විසින් සිදුකරනු ලබන සියලුම දේ තමන් සිදුකරන බවත් හෝ තමන් ආයෝජන උපදේශකයෙකු බවත් හැඟවීම පැහැදිලිවම කොටස් වෙළෙඳ පොළේ සහ සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා නීතිරීති උල්ලංඝනය කිරීමකි.
මෙහිදී, කොළඹ කොටස් වෙළෙඳ පොළ නියාමනය කරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙහි ප්‍රධානතම අරමුණක් වන්නේ ආයෝජකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමය. නීතිරීති සම්පාදනය කර ඇත්තේද එම අරමුණු පෙරදැරි කරගෙනය. ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකට කොටස් තැරැව්කාර ආයතනයක නියෝජිතයෙකු වූ පමණින් හිතුමතේ කටයුතු කළ නොහැකිය. එසේ සිදුවුවහොත් එය තවත් %සක්විති^ සිදුවීමක් වනු නොඅනුමානය. විශේෂයෙන්ම, කොටස් වෙළෙඳ පොළ දියුණු කිරීමට, එය ගමට ගෙනයාමට අත්‍යාවශ්‍ය වුවත් එය සිදුකළ යුත්තේ යම්කිසි නීතිරීති පද්ධතියක් යටතේය. මන්දයත් ආයෝජකයන්ගේ මුදල්වලට සියලුදෙනා වගකිව යුතු බැවිණි. කොටස් වෙළෙඳ පොළ ශාඛා පද්ධතිය දියුණු කිරීම, කොටස් තැරැව්කාර ආයතන ශාඛා පද්ධතිය පුළුල් කිරීම, ආයෝජකයන් දැනුවත් කිරීම මෙහිදී අත්‍යාවශ්‍ය කරුණු වේ. වත්මන් රජයද එය අවධාරණය කර ඇත. එසේ නොමැතිව විවිධ ආයතන නිසි නියාමනයකින් තොරව ආයෝජකයාගේ මුදල් පරිහරණය කළහොත් එය අනාගතයේදී ප්‍රශ්න ඇති කරනු නොඅනුමානය. මන්දයත්, ඔවුන් ලබාදෙන ආයෝජන උපදෙස්, කටයුතු කරන ආකාරය පිළිබඳව කිසිවෙකුටත් වගකීමක් නොමැති බැවිනි.
ඒ අනුව, කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබ කොටස් වෙළෙඳ පොළේ ලියාපදිංචි කොටස් තැරැව්කාර ආයතනයක සේවයේ නියුතු ආයෝජන උපදේශකයකු ලබාගත යුතු වන අතර, ගනුදෙනු කළ හැක්කේද ඔවුන් හරහා පමණි. ඔබ කොටස් ගනුදෙනු ආරම්භයේදීම මෙම නීතිරීති පද්ධතිය පිළිබඳව අවබෝධයකින් තොරව ආයෝජනය කළහොත් එයින් ඔබට උපරිම ප්රතිලාභ ලබාගත නොහැකිය. එහෙත්, ආයෝජනය නිසිපරිදි කළහොත් කොටස් වෙළෙඳ පොළෙන් කෝටිපතියෙකු වෙතැයි පැවසීම ආචාරධර්මවලට පටහැනි වුවද, ඔබ ඔබගේ ආයෝජනය නැණවත්ව සිදුකළහොත් එයින් උපරිම ප්රතිලාභ ලබාගත හැකි බව අපට පැවසිය හැකිය. එසේම, පසුගිය වසර 30 පුරාවට ශ්‍රී ලංකාවේ ආයෝජන මාර්ග අතර ඉහළම ප්‍රතිලාභයක් ලබාදී ඇති ආයෝජන මාර්ගයක් ලෙසද කොටස් වෙළෙඳ පොළ ප්‍රධාන තැනක් ගනී.
තොරතුරු සැපයීම - ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව