කොටස් වෙළෙඳ පොළ ආයෝජනයට ඔබ නවකයකු විය හැකිය. එසේ නැතහොත් දැනට ආයෝජනයෙහි නිරත වන්නෙකු විය හැකිය. කෙසේ වෙතත් කොටස් වෙළෙඳ පොළ ආයෝජනයේදී ආයෝජකයෙකුගේ දැනුවත්භාවය කොතරම් වැදගත්ද යන්න ආයෝජනයේ සාර්ථකභාවය අනුව තේරුම්ගත හැකිය. ආයෝජනය කිරීමට ප්‍රථමයෙන් ඔබට ආයෝජනයේ ස්වභාවය පිළිබඳව පුළුල් අවබෝධයක් තිබීම ඉතා වැදගත්ය. වෙළෙඳ පොළ තුළින් ඉහළ ප්‍රතිලාභයක් අපේක්ෂා කරන්නේ නම් කොටස් තැරැව්කාර ආයතනය සමග අත්සන් යොදා ඇති කරගන්නා වූ විවිධ ගිවිසුම්, වෙළෙඳ පොළ විවිධ පාර්ශ්වකරුවන්ගෙන් ලැබෙන ලිපි ලේඛන, මූල්‍ය වාර්තා ආදිය පිළිබඳවද හොඳින් දැනුවත්ව සිටිය යුතුය. ආයෝජකයෙකු විශේෂයෙන් අවධානය යොමුකළ යුතු එවැනි ගිවිසුම් ලෙස;
• ගැණුම් සටහන්/විකුණුම් සටහන් (Bought Notes/Sold Notes)
• කොටස් තැරැව්කාර ආයතනය විසින් ලබාදෙන ගිණුම් විවෘත කිරීමේ ආකෘති පත්‍රය (Account Opening Form)
• මධ්‍යම තැන්පතු ක්‍රමය විසින් ලබාදෙන ගිණුම් විවෘත කිරීමේ ආකෘති පත්‍රය (CDS Account Opening Form)
• ගනුදෙනුකරු හඳුනා ගැනීමේ ආකෘති පත්‍රය (KYC Form)
• ආයෝජක ගිවිසුම (Client Agreement)
• අභිමතය අනුව ගනුදෙනු කරන ගිණුම (Discretionary Account)
• ණය ගිවිසුම (Credit Agreement)
• මධ්‍යම තැන්පතු ක්‍රමය විසින් ලබාදෙන ගිණුම් වාර්තා (CDS Account Statements)
• ගිණුම් වාර්තා (Account Statements) ආදිය හඳුන්වාදිය හැකිය.
ගැණුම් සටහන්/විකුණුම් සටහන් (Bought Notes/Sold Notes)
ආයෝජකයෙකු විසින් කොටස් මිලදී ගැනීමේ ඇණවුමක් හෝ විකිණීමේ ඇණවුමක් භාරදුන් පසු එම ඇණවුම සාර්ථක වූයේද යන්න නිසි පරිදි තහවුරු කරන ක්‍රමය ගැණුම් සටහන හෝ විකුණුම් සටහනයි. එය අනිවාර්යයෙන්ම කොටස් තැරැව්කාර ආයතනය විසින් ගනුදෙනුකරුට ලබාදිය යුතු අතර ගනුදෙනුව සිදුවූ දිනයේම එම ගනුදෙනු විස්තර වාර්තා ආයෝජකයා වෙත තැපැන් මගින්/ඊමේල් මගින් ලබාදෙනු ඇත. මෙය විද්‍යුත් ආකාරයෙන් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීමක් කොටස් තැරැව්කාර ආයතනය වෙත ඉදිරිපත් කළ යුතු වේ. එසේ ලැබෙන වාර්තාවක් ඔබට කිසිම අයුරකින් වෙනස් කිරීමක් කළ නොහැකි අතර, එහි යම් වරදක් ඇත්නම් ඒවා කොටස් තැරැව්කාර ආයතනයේ අනුකූලතා නිලධාරීවරයා වෙත දැනුම්දිය යුතුය. එමෙන්ම ගැණුම් සටහන හෝ විකුණුම් සටහනෙහි කොටස් තරැව්කාර ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා හෝ අනුකූලතා නිලධාරීවරයා අත්සන් යොදා අනුමැතිය ලබාදී ඇත්දැයි තහවුරු කරගත යුතුවේ.
මධ්‍යම තැන්පතු ක්‍රමය විසින් ලබාදෙන ගිණුම් වාර්තාව (CDS Account Statements)
කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කරන සියලු පුද්ගලයන්ගේ කොටස් ගිණුම් පවත්වාගෙන යනු ලබන්නේ මධ්‍යම තැන්පතු ක්‍රමයයි. එම ගිණුම්වල එක් එක් ආයෝජකයන් විසින් මිලදී ගෙන ඇති කොටස් තැන්පත් කර ඇති අතර ආයෝජකයා විසින් එම කොටස් නැවත අලෙවි කරන තෙක් එහි භාරකරු ලෙස මධ්‍යම තැන්පතු ක්‍රමය ක්‍රියාත්මක වෙයි. මේ අනුව ආයෝජකයන්ගේ ගිණුම්වල ඇති කොටස් ප්‍රමාණයන් කොපමණද යන්න ගිණුමෙහි ඇති ශේෂයන් සම්බන්ධ විස්තර වාර්තාවක් ආයෝජකයාට ලැබීමට සලස්වයි. මෙම වාර්තාව මගින් ගැණුම් සටහන හෝ විකුණුම් සටහනෙහි සඳහන් විස්තරවල නිරවද්‍යතාව පිළිබඳවද තහවුරු කරගත හැකිය. එය ඊ-මේල් මගින් හෝ තැපැල් මගින් ආයෝජකයා වෙත ලබාදෙනු ඇත.
කොටස් තැරැව්කාර ආයතනය විසින් ලබාදෙන ගිණුම් විවෘත කිරීමේ ආකෘති පත්‍රය (Account Opening Form)
ප්‍රාථමික හෝ ද්වීතියික වෙළෙඳ පොළින් කොටස් මිලදී ගැනීමට අපේක්ෂා කරන ඔබ ප්‍රථමයෙන් කොටස් තැරැව්කාර ආයතනයක් වෙත යා යුතු අතර, ඉහත ආකෘති පත්‍රය එහිදී ඔබ වෙත ලැබෙනු ඇත. එයින් බලාපොරොත්තු වන්නේ තම ගනුදෙනුකරුවා ගැන යම් විස්තරයක් කොටස් තැරැව්කාර ආයතනය වෙත ලබා ගැනීමය. එමගින් පහත සඳහන් විස්තර ඔබගෙන් බලාපොරොත්තු වේ.
• සම්පූර්ණ නම
• ජාතික හැඳුනුම්පතේ/විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක්
• ආදර්ශ අත්සන
• ස්ථිර පදිංචි ලිපිනය සහ ලිපි හුවමාරු කෙරෙන ලිපිනය
• දුරකථන අංකය
• රැකියාව
• ආයෝජකයාගේ සේවායෝජකයාගේ නම, ලිපිනය සහ දුරකථන අංක
• ගිවිසුම් සහටන් ලැබෙන සහ බේරුම් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධ උපදෙස්
• බැංකු විස්තර
ඔබ විසින් මෙසේ ලබාදෙන්නා වූ තොරතුරු ඉතා නිවැරදිව ලබාදීමට වගබලා ගත යුතු අතර කොටස් තැරැව්කාර ආයතනය උපරිම අවංකභාවයෙන් යුතුව සහ වෘත්තීයමයභාවයෙන් යුතුව ක්‍රියාත්මක වන අතර ඔබ විසින් ලබාදෙන්නා වූ පෞද්ගලික තොරතුරු තෙවැනි පාර්ශ්වයක් වෙත ලබානොදී එහි රහසිගතභාවය ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරනු ඇත. මෙහිදී ඔබගේ ලිපිනය සහ බැංකු විස්තර ඉතා නිවැරදිව ලබාදීමට කටයුතු කළ යුතුය.
මධ්‍යම තැන්පතු ක්‍රමය විසින් ලබාදෙන ගිණුම් විවෘත කිරීමේ ආකෘති පත්‍රය (CDS Account Opening Form)
මෙම ආකෘති පත්‍රය මගින් ලබා ගැනීමට බලාපොරොත්තු වන විස්තර බොහෝදුරට ඔබ ගනුදෙනු කරන කොටස් තැරැව්කාර ආයතනය විසින් ඔබට ලබාදුන් ආකෘති පත්‍රය තුළින් අසනු ලබන ප්‍රශ්නවලට සමානය.
මධ්‍යම තැන්පතු ක්‍රමය විසින් ලබාදෙන ගිණුම් විවෘත කිරීමේ ආකෘති පත්‍රය සම්පූර්ණ කර අත්සන් යොදා භාරදීමේ ආයෝජකයා විසින් සුරැකුම්පත් ගිණුමක් ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න සහ එහි සඳහන් සියලු නීතිරීති හොඳින් කියවා තේරුම්ගත් බවට ඉන් තහවුරු කෙරෙනු ඇත. මෙම ආකෘති පත්‍රය කොළඹ කොටස් හුවමාරුවේ වෙබ් අඩවිය තුළින් ඩවුන්ලෝඩ් කර ගැනීමට හෝ ඍජුවම කොටස් තැරැව්කාර ආයතනයෙන් ඉල්ලා සිටිය හැකිය.
ඔබ වෙනුවෙන් ඔබෙග් කොටස් ගිණුමට කොටස් භාර ගන්නා ලෙස මධ්‍යම තැන්පතු ක්‍රමය වෙත අවසර ලබාදී තිබේ. ඒ අනුව, ඔබ විසින් ගනුදෙනුවක් සිදුකළ විට එය නැවත අවලංගු කළ නොහැකිය. මේ නිසා සෑමවිටම දැනුවත් ආයෝජන තීරණ ගැනීමට ආයෝජකයා උත්සාහ කළ යුතුය.
තවද, කොටස් ගනුදෙනුවලදී මධ්‍යම තැන්පතු ක්‍රමය සමග කටයුතු කිරීමට ඔබ ඔබගේ කොටස් තැරැව්කාර ආයතනයට එහි නියෝජිතයා වශයෙන් අවසර ලබාදී ඇත. එහිදී ගනුදෙනු කිරීමට වඩා පහසු කොටස් තැරැව්කාර ආයතනයක් තෝරා ගැනීම කළ යුතුය.
ගනුදෙනුකරු හඳුනා ගැනීමේ ආකෘති පත්‍රය (KYC Form)
එක් එක් ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය තත්ත්වය, ආයෝජන අත්දැකීම් සහ ආයෝජන අරමුණු මොනවාද යන්න සත්‍ය වශයෙන් දැනගැනීම සහ පූර්ණ වශයෙන් හඳුනා ගැනීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගැනීම කොටස් තැරැව්කාර ආයතනයක ප්‍රධාන වගකීමකි. එහි අකෘති පත්‍රයේ පහත සඳහන් විස්තර ඉල්ලා සිටිය හැකිය.
• සම්පූර්ණ නම සහ ජාතික හැඳුනුම්පත්/විදේශ ගමන් බලපත් අංකය
• ලිපිනය සහ දුරකථන අංකය
• ලිපිනය සනාථ කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි
• රැකියාව සහ අනෙකුත් ව්‍යාපාර පිළිබඳ විස්තර
• ආයෝජනය කිරීම සඳහා අපේක්ෂිත මුදල
• අරමුදල් මූලාශ්‍ර
ඔබ ඉතිරිකිරීමේ ගිණුමක් හෝ ස්ථාවර ගිණුමක් විවෘත කරන විටද මෙවැනි ආකෘති පත්‍රයක් සම්පූර්ණ කිරීමට සිදුවේ. මෙම ආකෘති පත්‍රයෙන් අසා ඇති සමහර ප්‍රශ්නවලට පිළිතුරු දීමට සාමන්‍යයෙන් ආයෝජකයන් මැලිකමක් දක්වයි. මෙහිදී මතක තබාගත යුත්තේ මෙම විස්තර රැස්කිරීමේ පරමාර්ථය ඔබ විසින් ආයෝජනය කරන මුදල් නීත්‍යනුකූලව උපයා ගත් ඒවාද යන්න තහවුරු කරගැනීම පමණක් බවය.
මෙහි තවත් කොටසක් ඉදිරි %දැනුවෙන් ආයෝජනයට^ ලිපියෙන් බලාපොරොත්තු වන්න.