කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් විසින් වංචාකාරි සහ වෙනස්කළ සංචාරක ලියකියවිලි මත පුද්ගලයන් නීතිවිරෝධී ලෙස සංචාරය කිරීම් වැළැක්වීමට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය කාලයේ සාර්ථක ලෙස මෙහෙයුම් දියත් කර ඇති බව නිවේදනය කරයි.
නීතිවිරෝධීව පුද්ගලයන් දේශ සීමා නීති උල්ලංඝනය කරමින් විදේශ රටවල් වෙත සංචාරය කරවීම ගෝලීය වශයෙන් පැනනැගී ඇති අර්බුදකාරී ගැටලුවක් බව පෙන්වාදෙන ශ්‍රී ලංකන් සමාගම, මෙවැනි නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීමට අවශ්‍ය නිසි පියවරවල් ගෙන තිබුණත් ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් හරහා නීතිවිරෝධී සංචාර බොහොමයක් ලොව පුරා සිදුවෙමින් පවතින බව පෙන්වා දෙයි.
ඒ අනුව, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වුවද වංචනික සහ අසම්පූර්ණ ලියවිලි මත නීතිවිරෝධීව සංචාරය කිරීමට තැත්කිරීම් බොහොමයක් වාර්තා වී ඇති බවද ඔවුහු පවසති.
එහිදී, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ එකම භූමි කටයුතු (ground handling) මෙහෙයවන්නා වශයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විදේශ සංචාර කරන්නන්ගේ වංචනික හෝ වෙනස්කළ ගුවන් ගමන් බලපත්‍ර පරීක්ෂාව, වීසා සහ පිවිසුම් පත් නිකුත් කිරීම සම්බන්ධව විශාල කාර්ය භාරයක් ඉටුකරනු ලබන බවද ඔවුහු පවසති.
ගුවන් සමාගම සතුව විශේෂයෙන් පුහුණු කරනලද ලියකියවිලි පරීක්ෂා කරන ආරක්ෂක කාර්ය මණ්ඩලයක් සිටින අතර, මොවුන් විදේශ තානාපති කාර්යාල හරහා ව්‍යාජ සංචාරක ලියකියවිලි හඳුනාගැනීම සඳහා විශේෂ පුහුණුවක් ලබා ඇති බවද පැවසේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලය මෙම අපරාධ කල්ලි හඳුනාගැනීමට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ (BIA) බලධාරීන් වන ශ්‍රී ලංකා පොලීසිය සහ රේගු සහ ආගමන අංශ සමග එකතුව කටයුතු කරනු ලබන බවත්, පසුගිය කාලයේ ව්‍යාජ ලෙස ගුවන් ගමන් බලපත්‍ර සාදා ගුවන්ගත වීමට තැත්කළ පුද්ගලයන් 5 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළේදී හසුකර ගැනීමට ගුවන් සමාගමට හැකි වූ බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.
ඒ අනුව, ගුවන් මගියෙකු ව්‍යාජ වීසා හෝ ව්‍යාජ ගුවන් බලපත්‍රයක් හරහා ගුවන්ගත වීමෙන් විදේශ රාජ්‍යයන් මගින් විශාල දඩයක් ගුවන් සේවා සඳහා පනවනු ලැබේ. මේ සඳහා ආගමන බලධාරීන් විසින් ගමනාන්තය කරා පැමිණෙන රටින් අවසර ලබාදුන්නේද යන්න නොසලකන අතර, එක් මගියෙකු වෙනුවෙන් ගුවන් සමාගමට යුරෝ 5,500 (රු.900,000) මුදලක් යුරෝපීය රටවල් සඳහා ගෙවීමට සිදුවන බවද ඔවුහු පවසති.
2016 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙවැනි නීතිවිරෝධී සංචාර සඳහා ගෙවීමට සිදුවන දඩ මුදල්වලින් පෙර වසරට වඩා 46% වාර්තාගතව අඩුකරගෙන ඇති අතර, ගුවන් සමාගම කිසිදු ආකාරයේ නීතිවිරෝධී සංචාර සිදුනොවීමට වගබලා ගන්නා බවත්, ගෝලීය වශයෙන් සංවිධානගත ලෙස සිදුකරන නීතිවිරෝධී සංචාරය කිරීම් වැළැක්වීමේ අසීරු කාර්යයේ නිරතුරුවම බැදී සිටින බවත් ඔවුහු පවසති. මෙසේ නීතිවිරෝධි ලෙස සංචාරය කරන්නන් ලෙස ශ්‍රී ලාංකිකයන් සහ අනෙකුත් ජාතිකයන් යුරෝපය, මැද පෙරදිග, ඈත පෙරදිග, ඔස්ට්‍රේලියාව, උතුරු ඇමරිකාව යනාදී රටවල් සඳහා රැකියා සඳහා පිටත්වීමට වංචනික ලෙස කටයුතු කරන බවද ඔවුහු වැඩිදුරටත් පවසති.