ඔස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද දෙවැනි Bay Boat මුර යාත්‍රාව ඊයේ (25දා) කොළඹ වරාය වෙත පැමිණි බවත්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ චාරිත්‍රානුකූලව එම යාත්‍රාව එහිදී පිළිගත් බව නාවික හමුදාව පවසයි.
මීටර් 38.2ක දිගින් යුතු මෙම මුර යාත්‍රාව P351 යන නාමයෙන් හඳුන්වා ඇත. ඔස්ට්‍රේලියාව වෙත මෙරට සිට නීති විරෝධී ආකාරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ නීති විරෝධී සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගැනීමට පසුගිය වසර 05ක කාලයක් තුළ දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අනුගමනය කරනලද ක්‍රියාකලාපය පිළිබඳව ඕස්ට්‍රේලියානු බලධාරීන්ගේ ප්‍රසාදය අගයනු වස් එරට රජය විසින් මෙවැනි මුර යාත්‍රා 02ක් පරිත්‍යාග කර තිබේ. මෙහි පළමු වැනි යාත්‍රාව මීට පෙර නාවික හමුදාව වෙත භාරදී ඇත.
එසේම මානුෂීය මෙහෙයුම අවසන් වූ අවස්ථාවේ සිට මේ දක්වා නාවික හමුදාව විසින් මෙසේ ඔස්ට්‍රේලියාව බලා ගමන්ගත් නීතිවිරෝධී සංක්‍රමණිකයන් 4327 දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා අදාළ අංශ වෙත භාරදී තිබෙන බවද නාවික හමුදාව පවසයි.