එක්සත් ජනපද GSP නැති බලපෑම අවමයි - බදියුදීන්
එක්සත් ජනපදයේ GSP සහනය නැවත බලාත්මක නොකළද, එම වැඩසටහන තුළින් ඇමෙරිකාව වෙත කෙරෙන ශ්‍රී ලාංකේය අපනයනවලට ඇති කෙරෙන බලපෑම 20% - 25%ත් අතර ප්‍රමාණයක් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
එක්සත් ජනපදයේ විශේෂ ප්රතිලාභ සහිත වෙළෙඳ වරණය පිළිබඳ පොදු ක්‍රමය (GSP) 2017 දෙසැම්බර් 31දායින් අවසන් වන බවත්, වර්ෂය සඳහා කටයුතු කල් තැබීමට පෙර එක්සත් ජනපද කොංග්‍රසය මෙම GSP වැඩසටහන නැවත බලාත්මක නොකළ බවත් ඇමෙරිකානු තානාපති කාර්යාලය අද (29දා) උදෑසන සිදුකළ නිවේදනයට ප්‍රතිචාර ලෙස අමාත්‍යවරයා සිය අමාත්‍යාංශයේදී මෙම අදහස් පළකර තිබේ.
මෙම GSP වැඩසටහන අවසන්වීමේ ක්ෂණික බලපෑම වන්නේ ශ්‍රී ලංකාව හා මෙම වැඩසටහන යටතේ ප්රතිලාභ ලැබූ අනෙකුත් රටවලින් එක්සත් ජනපදයට ආනයනය කෙරෙන භාණ්ඩ 2018 ජනවාරි 01දා සිට වරණීය නොවන තීරුබදුවලට යටත් වීම බවද තානාපති කාර්යාල නිවේදනයෙන් වැඩිදුරටත් කියවුණි.
කෙසේ වෙතත්, මෙම වැඩසටහන අවසන් වීම ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර වෙළෙඳ ගනුදෙනු සඳහා සැලකිය යුතු බලපෑමක් නොකරනු ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එමෙන්ම, ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාව වෙත කෙරෙන අපනයන අතර ප්රමුඛ වන්නේ ඇඟලුම් නිෂ්පාදන වන අතර, 2016 වසරේ එම අපනයන අගය ඇ.ඩො.බිලියන 2.1ක් පමණ (සමස්තයෙන් 75%ක් පමණ) වන බවත්, මෙම GSP වැඩසටහන ඇඟලුම් සඳහා කිසිසේත්ම බලනොපාන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.
එමෙන්ම, මේ වසරේ නොවැම්බර් දක්වා එක්සත් ජනපදය සමග ද්වීපාර්ශ්වික ගනුදෙනුවල අගය ඇ.ඩො.බිලියන 3.41ක් පමණ වන බවත්, මේ දක්වා ශ්‍රී ලංකාව ඇමෙරිකාව වෙත සිදුකළ අපනයනවල අගය ඇ.ඩො.බිලියන 2.64ක් පමණ වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

