ශ්‍රී ලංකා මුහුදු සීමාවට තමිල්නාඩු ධීවරයන් අනවසරයෙන් ඇතුළු වී සිදුකරනු ලබන මත්ස්‍ය සම්පත නෙලාගැනීම සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සංවිධානය කරනු ලැබූ 'විශේෂ කාර්ය බලකාය' නම් වූ සාකච්ඡාවක් එම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 22 වැනිදා පවත්වා තිබේ.
මෙම විශේෂ සාකච්ඡාව සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, නාවික හමුදාව, පොලීසිය හා උතුරු පළාතේ ධීවර සංගම් නියෝජිතයන් ඇතුළු ධීවර ක්ෂේත්රයට අදාළ සියලු ආයතනවල නිලධාරීන් පිරිසක් සහභාගී වී තිබේ.
මෙහිදී, අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා, "අපේ මත්ස්‍ය සම්පත වසර 30ක පමණ පෙර සිට ඉන්දියානු ධීවරයින් විසින් රැගෙන යනවා. මේ බෝට්ටුවල නියම අයිතිකරුවන් තමිල්නාඩු දේශපාලඥයන්. නමුත් මෙරටදී අත්අඩංගුවට පත්වන්නේ එරට අහිංසක මිනිස්සුන්. ඉන්දියානු ධීවරයින් සිරකළාට මෙම ගැටළුව විසදෙන්නේ නෑ. ඔවුන් සිදුකරන තහනම් පන්න ක්‍රමය වන බොටම් ට්‍රෝලිං ක්‍රමය නැවැත්වීමට පියවර ගත යුතු බවයි.
ඉන්දීය මධ්‍යම රජය අවධානය යොමු කරන්නේ ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට පත්වීමෙන් ඔවුන්ට ඇතිවන ප්‍රශ්න පිළිබඳවයි. නමුත්, මෙම ධීවරයන් අත්අඩංගුවට ගැනීම හෝ සිරකර තැබීමෙන් මේ ප්රශ්නය විසඳීමට නොහැකියි.
දැනට මෙරට අත්අඩංගුවේ ඉන්දියානු ධීවරයන් 87ක් හා බෝට්ටු 47 ක් පවතිනවා. මෙකී ඉන්දියානු ධීවරයන් නිදහස් කරගැනීමට තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා මහත්මිය ඇතුළු එරට බළධාරීන් විවිධ උත්සාහ දරමින් සිටිනවා." යැයි පවසා සිටියේය.