ශ්‍රී ලංකා මුහුදේ ඉන්දීය ධීවරයින් විසින් ධීවර කටයුතුවල යෙදෙමින් සිදුකරන විනාශය පිළිබඳව සොයා බැලීමට ඉන්දීය දේශපාලඥයන්ට ආරාධනා කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ පසුගියදා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
&ශ්‍රී ලංකා මුහුදේ ධීවර කටයුතුවල යෙදෙන ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීම් වැඩිකරන ලෙසට නාවික හමුදාවට හා වෙරළාක්ෂක බලකායට උපදෙස් ලබාදීම තුළ ඉන්දීය ධීවරයන් විශාල ලෙස අත්අඩංගුවට පත්වන බැවින්, මේ දිනවල ඉන්දියාවේ ද්‍රෝහියා බවට මා පත්ව සිටිනවා. එරට පුවත්පත් හා රූපවාහිනීවල මාගේ ඡායාරූප පවා පළ වෙනවා. ඒ වගේම, ඉන්දීය දේශපාලඥයන්ගේ දෝෂදර්ශනයට පවා මා ලක්ව තිබෙනවා.
කෙසේ වෙතත්, ඉන්දීය ධීවරයින් විසින් සිදුකරන බොටම් ට්‍රෝලිං ක්‍රමය තුළ, අපේ රටේ ධීවරයින්ගේ ජීවනෝපායට බාධාකිරීම් පමණක් නොවෙයි, මුහුදු පත්ලද විනාශ වෙනවා. ශ්‍රී ලංකාවේ ධීවර ජනතාව පිළිබඳව වගකීම ධීවර අමාත්‍යවරයා ලෙස මට පැවරෙන බැවින් කිසිම අයෙකුගේ තර්ජනවලට බියෙන් කටයුතු කිරීමට මා සූදානම් නැහැ. මෙහිදී, ඉන්දීය ධීවරයින්ගේ වගකීම ඉන්දියාව බලාගත යුතුයි.
මෑතකදී මා උතුරු ප්‍රදේශයේ නිල සංචාරයක යෙදුණා. එහිදී උතුරේ ධීවර ජනතාවගේ පළමු, දෙවැනි හා තෙවැනි ඉල්ලීම වූයේ ඉන්දීය ධීවරයින් විසින් සිදුකරන විනාශකාරී ධීවර කටයුතු වළක්වන ලෙසයි. උතුරේ ධීවර ජනතාවගේ ආදායම් තත්ත්වය අහිමි කිරීම හා බොටම් ට්‍රෝලිං වැනි තහනම් පන්න ක්‍රම භාවිත කරමින් මුහුදු පත්ල විනාශ කිරීමට එරෙහිව දැඩි පියවර ගන්නවා. මේ සංචාරයේදී මා කන්කසන්තුරේ නාවික කඳවුරට අයත් ඩෝරා යාත්‍රාවකින් ගොස් ඉන්දීය ධීවරයින් සිදුකරන බොටම් ට්‍රෝලිං ක්‍රමය සියැසින්ම දැකගත්තා.* යැයි පවසා සිටියේය.
මෙම අවස්ථාවට පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි මහතා හා එම සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.