පුරවැසි සේවාවන් සැපයීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිත කරන අන්දම නියාමනය කෙරෙන එක්සත් ජාතීන්ගේ ‘ඉ-රාජ්‍ය’ සංවර්ධන වාර්තාවට අනුව 2014 වසරේ ලොව රටවල් 193ක් අතුරින් 74 වැනි ස්ථානය ලබා ගැනීමට මෙවර ශ්‍රී ලංකාවට හැකි වී ඇත. 2012 වාර්තාව අනුව ශ්‍රී ලංකාවට හිමි වී තිබුණේ 115 වැනි ස්ථානයයි.
මෙවර වාර්තාවට අනුව දකුණු ආසියාවේ විශිෂ්ට ලෙස මහජන සේවා සැපයීම සඳහා තොරතුරු තාක්ෂණය භාවිත කරන රට ලෙස ශ්‍රී ලංකාව මුල් තැනට පත්ව තිබේ. දෙවැනි ස්ථානය හිමි වී ඇත්තේ මාලදිවයින් රාජ්‍යයට වන නමුත් ඔවුන් පසුවන්නේ ශ්‍රී ලංකාවට වඩා ස්ථාන 20ක් පසු පසිනි. ඉන්දියාව ශ්‍රී ලංකාවට ස්ථාන 44ක් පිටුපසින් පසුවන අතර ජගත් ‘ඉ-රාජ්‍ය’ සංවර්ධන දර්ශකයේ 118 වැනි ස්ථානය ඔවුන්ට හිමි වී ඇත.
මේ බව අනාවරණය කෙරුණෙ ඊයේ (18දා) කොළඹදී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය කරන ලද විශේෂ සාකච්ඡාවකදීය.
මෙම අවස්ථාවට එක් වූ විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ, ‘මහින්ද චින්තන’ ප්‍රතිපත්තියට අනුව මහජන හිතකාමි සමීප රාජ්‍ය සේවාවක් සැපයීමේ අරමුණින් ‘ඉ- ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය උපරිම ලෙස රාජ්‍ය අංශය තුළ භාවිත කිරීම මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හේතු වූ බවයි.