ඇමෙරිකානු ඩොලරය නොව, චීන මුදල් ඒකකය ශ්‍රී ලංකාව හා චීනය අතර සිදුකරන වෙළෙඳ හා වාණිජ ගනුදෙනු සහ ආනයන අපනයනවලදී යොදාගන්නේ නම් දෙරට අතර වෙළෙඳාම ඇ.ඩො.බිලියන 4.2 ඉක්මවා වර්ධනය කළ හැකි බවත්, එබැවින් ඇමෙරිකානු ඩොලරය නොව, චීන යුවාන් මුදල් ඒකකය දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම සඳහා භාවිත කරන මෙන් ශ්‍රී ලංකාවට යෝජනා කරන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියෑන්ලිං මහතා පවසා සිටියේය.
චීන තානාපතිවරයා මෙසේ අදහස් දක්වා සිටියේ පසුගියදා කොළඹදී පැවැත්වුණු චීන - ශ්‍රී ලංකා ගොඩනැගිලි කර්මාන්ත ආයෝජන සැසිවාරය අමතමිනි.
මෙහිදී, අදහස් දක්වමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටියේ, 2016 දී ශ්‍රී ලංකාවට පෞද්ගලික විදේශ ආයෝජන (FDI) ලබාදුන් ප්‍රධානතම රටවල් දහය අඩංගු ලැයිස්තුවේ 5 වැනි ස්ථානයේ චීනය පසුවන බවත්, එම වසරේදී ඇ.ඩො.මිලියන 52ක ආයෝජන චීන සමාගම් විසින් මෙරටට සිදුකරනු ලැබූ බවත්ය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"ශ්‍රී ලංකාවට ආධාර සහ ආයෝජන ලබාදෙන ප්‍රධාන රාජ්‍යයක් බවට චීනය පත්ව තිඛෙනවා. කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය ආයෝජන වැනි රාජ්‍ය මට්ටමේ විශාල පරිමාණ ආයෝජනයන්ට අමතරව චීන පෞද්ගලික අංශයේ සමාගම් හරහා මෙරටට ලැඛෙන ආයෝජනද වැඩි වෙමින් පවතිනවා. ශ්‍රී ලංකාව චීනයේ 'එක් තීරයක් - එක් මාවතක්' (One Belt One Road) යන සංකල්පයේ ප්‍රධාන සංධිස්ථානයක් බවට පත්වී ඇති බවද සඳහන් කළ යුතුයි" යනුවෙන් පවසා සිටියේය.
මෙම සැසිවාරය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියෑන්ලිං මහතා පැවසුවේ ශ්‍රී ලංකා රජය සහ චීන රජය පසුගියදා අත්සන් තැබූ හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳව විවිධ පාර්ශ්ව වැරදි අදහස් ප්‍රකාශ කර ඇති බවයි.
"මේ ගිවිසුම චීනයේ උපාය මාර්ගික හෝ හමුදා (මිලිටරි) සැලැස්මක් විය හැකි යැයි යන වැරදි මතයක්ද පළ වෙනවා. ඒ මතය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. මෙහිදී සිදුවුනේ චයිනා මර්චන්ට් සමාගම හා ලංකා වරාය අධිකාරිය අතර සරල වාණිජ ගිවිසුමක් පමණයි. යම් වරායක් ස්ථාපනය කළ පමණින්ම ඉන් රටට ප්රතිලාභ ලැබේ යයි සිතීම නිශ්ඵලයි. එය අර්ථවත් වන්නේ ඒ ආශ්‍රිතව නිෂ්පාදන කර්මාන්ත පුරයක් ස්ථාපිත කිරීම සහ ඒවා එම වරායෙන් නැව්ගත කිරීමෙන් පමණයි.
මින් පෙර අවස්ථාවක මා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කළේ හම්බන්තොට වරාය ආශ්‍රිතව කර්මාන්ත පුරයක් ස්ථාපනය කරන්නේ නම් එයට චීන රජයේ අනුග්‍රහය ලබාදිය හැකි බවයි. ශ්‍රී ලංකාව හා චීනය අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම 2016 වසරේදී ඇ.ඩො.බිලියන 4.2ක් බවට පත්වුණා. දැනට දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම සඳහා භාවිත කරන ඇමෙරිකානු ඩොලරය නොව, චීන මුදල් ඒකකය වන යුවාන් (රෙන්මින්බි) දෙරට අතර සිදුකරනු ලබන වෙළෙඳ හා වාණිජ ගනුදෙනු සහ ආනයන අපනයනවලදී ද යොදාගන්නේ නම් දෙරට අතර වෙළෙඳාම ඇ.ඩො.බිලියන 4.2 ඉක්මවා වර්ධනය කළ හැකියි. එබැවින් ඇමෙරිකානු ඩොලරය නොව, චීන යුවාන් මුදල් ඒකකය දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම සඳහා භාවිත කරන මෙන් මා ශ්‍රී ලංකාවට යෝජනා කරනවා" යැයි චීන තානාපතිවරයා පවසා සිටියේය.
එමෙන්ම, දැනට ශ්‍රී ලංකාවෙන් භාණ්ඩ මිලදී නොගන්නා චීන සමාගම්ද මෙවැනි වෙනසකින් පසු මෙරට භාණ්ඩ මිලදී ගැනීමට ඉදිරිපත් වීමෙන් දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන අවස්ථාවල ශීඝ්‍ර වර්ධනයක් සිදුවිය හැකි බවද තානාපතිවරයා මෙම අවස්ථාවේදී සඳහන් කළේය. දැනටමත් වියට්නාමය වැනි රටවල් චීනය සමග වෙළෙඳ ගනුදෙනු කරන්නේ යුවාන් මගින බවත්, එය සාර්ථක වූ බවත් චීන තානාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.