ආපදා කළමනාකරණය, සමුද්‍රීය ආරක්ෂාව, ත්‍රස්තවාදය හා අන්තගාමී හිංසනයට එරෙහිව සටන් කිරීම, මිනිස් ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම, අනෙකුත් ජාතීන් හරහා සිදුවන අපරාධ ඇතුළුව කලාපය තුළ සාමය හා ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව සතු ප්‍රමුඛතාවන් පිළිබඳව 24 වැනි ආසියාන් කලාපීය සංසදයේ විදේශ අමාත්‍යවරුන්ගේ සැසියට සහභාගී වෙමින් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවසීය.
පිලිපීනයේ මැනිලා නුවරදී 24 වැනි ආසියාන් කලාපීය සංසදය විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ, මැනිලා නුවර ශ්‍රී ලංකා තානාපතිනී අරුණි රණරාජා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියා හා පැසිෆික් අංශයේ අධ්යක්ෂ ජනරාල් අමීර් අජ්වාඩ් යන මහත්ම මහත්මීන්ද සහභාගී වූ බව අමාත්‍යාංශය පවසයි.
රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම ආසියාන් කලාපිය විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමෙන් අනතුරුව ආසියාන් සංවිධානයේ 50 වැනි සංවත්සර උත්සවයට සහභාගී වූහ. එම සංවත්සර උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වූ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටාර්ටේ මහතාද හමුවූ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පිලිපීන ජනාධිපතිවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ඇරයුම් කර තිබුණි. පිලිපීන ජනාධිපතිවරයා එය ඉතා සුහදශිලිව පිළිගනු ලැබීය. ආසියාන් කලාපීය සංසදයට සමගාමීව අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පිලිපීනය, ඉන්දුනීසියාව, කැනඩාව, කාම්බෝජය, ලාඕසය, මැලේසියාව, තුර්කිය, බෲනායි, ඩරුස්සලාම් සහ බංගලාදේශය යන රටවල විදේශ අමාත්‍යවරුන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන ලදී. මෙයට අමතරව, ආසියාන් සංවිධානයේ මහ ලේකම් ලී ලුඔන්ග් මින්හ් මහතා හමුවූ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා, එම සංවිධානයේ ආංශික සංවාද සහකරුවෙකු බවට පත්වීමට ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කළ යුතු විස්තර හා ඒ පිළිබඳ තොරතුරු සාකච්ඡාට බඳුන් කර තිබේ.
ආසියාන් කලාපීය සංසදයේ චීනය, ලාඕසය, තායිලන්තය, මියන්මාරය, ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, වියට්නාමය, ප්‍රජාතාන්ත්‍රික මහජන කොරියන් සමුහාණ්ඩුව, සිංගප්පුරුව, මැලේසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, ජපානය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 27ක සාමාජිකත්වය හොබවයි. එමෙන්ම, ආසියාන් කලාපීය සංසදයේ සාමාජිකත්වය ශ්‍රී ලංකාව ලබාගෙන 2017 වර්ෂයට වසර 10ක් සපිරෙන මේ අවස්ථාවේදී ආසියානු කලාපීය සංසද සැසියට සහභාගීවීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වූ බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.