ආසියා පැසිෆික් කලාපීය සංවර්ධනය සඳහා වූ මූල්‍ය කටයුතු පිළිබඳ සිව් වැනි ඉහළ පෙළ සාකච්ඡාවේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
එක්සත් ජාතීන්ගේ ආසියා හා පැසිෆික් කලාපීය ආර්ථික සහ සමාජ කොමිසමේ විධායක ලේකම් ෂම්ෂාඩ් අක්තාර් මහත්මිය මේ සම්බන්ධයෙන් පසුගිය 10දා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට නිල වශයෙන් දැනුම් දී තිබුණු අතර, මුදල් අමාත්‍යාංශයේදී පැවැති මෙම හමුවේදී අක්තාර් මහත්මිය කියා සිටියේ මෙම දේශනය සඳහා ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවීම අතිශය වැදගත් බවයි.
මෙම ආරාධනයට අනුව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඒ සඳහා සහභාගී වීමට නියමිත අතර, සමුළුව ලබන අප්‍රේල් මස 28 සහ 29 යන දෙදින තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වීමට නියමිතව තිබේ. යහපාලනය, මූල්‍ය විනය ශක්තිමත්ව පවත්වා ගැනීම ආදී කරුණු පදනම් කරගෙන මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිව ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සහ ෂම්ෂාඩ් අක්තාර් මහත්මිය අතර පැවති සාකච්ඡාවේදී කලාපීය වශයෙන් හඳුනාගෙන ඇති සහ අවධානය යොමුකර ඇති ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමුකර ඇති අතර, එහිදී කලාපීය සංවර්ධන මූල්‍ය ක්ෂේත්රයේ ශ්‍රී ලංකාවට හිමිව ඇති ඉහළ ස්ථානය අගය කෙරුණු බවත්, වර්ෂ 2030 සංවර්ධන න්‍යාය පත්‍රයේ කලාපීය වශයෙන් ශ්‍රී ලංකාවට ඇති ප්‍රමුඛස්ථානය සම්බන්ධයෙන්ද අදහස් පළ වී ඇති බවත් මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.