ආර්ථීකය විවෘත කළද තවමත් තාක්ෂණික උකහා ගැනීම් සහ නව තාක්ෂණයන් මෙන්ම තාක්ෂණික ක්‍රමවේද බිහිකිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී තිබීම රටේ දියුණුවට දැඩි බාධාවක් බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.
හෝමාගම නැනෝ තාක්ෂණ මධ්‍යස්ථානයේදී ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය (SLAAS) සංවිධානය කළ විශේෂ වැඩමුළුවකට එක්වෙමින් ඊයේ (26දා) අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේය.
"1998 වසරේ සිට වසර 15ක කාලයක් ගත වූවත් ශ්‍රී ලංකාව පවතින්නේ පහළ මෙන්ම ඉන් එහාට වර්ධනයක් ළඟාකර ගත නොහැකි සිරවීමක් පෙන්වන මැදි ආදායම් රටක් ලෙසයි. එනම් ඒක පුද්ගල ආදායම ඇ.ඩො.1,000 ත් 12,000 ත් අතර පවතින රටක් ලෙසයි. 1977 දී ආර්ථීකය විවෘත කළ පසු ලාභ ශ්‍රමය, ලාභ බලශක්තිය, ලාභ සම්පත් අඛණ්ඩව පවතිනවා යැයි විශ්වාස කළත් වර්තමාන ශ්‍රී ලංකාවට එවන් තත්ත්වයක් කිසිසේත්ම බලපාන්නේ නැහැ. ඒ නිසා සියලු ආයෝජන සිංගප්පූරුව, අප්‍රිකාව වැනි රටවලට ඇදෙමින් පවතිනවා" යැයි අමාත්‍යවරයා පවසා සිටියේය.
"ඕනෑම රටක ඒක පුද්ගල ආදායම ඇ.ඩො. 4,000 - 8,000 අතරදී සිරවීමක් දකින්න පුළුවන්. අපට වඩා ඉදිරියට ගිය මැලේසියාව, තායිලන්තය, බ්‍රසීලය හා චීනය වැනි රටවලටද එම තත්ත්වය බලපා තිබෙනවා. මේ උගුලෙන් බේරීමට හැකි වූයේ සිංගප්පූරුව, කොරියාව, හොංකොං, තායිවානය, මෝල්ටාව වැනි සීමිත රටවල් ප්‍රමාණයකට පමණයි. ඔවුන් එලෙස ඒ අභියෝගය ජයගත්තේ තම රටට අවශ්‍ය නව තාක්ෂණය උකහාගත් නිසා හා නව තාක්ෂණයන් බිහිකරගත් නිසායි. අපේ රටේ ආර්ථීකය විවෘත කළද අපට තවමත් තාක්ෂණික උකහාගැනීම් සහ නව තාක්ෂණ බිහිකිරීම අභියෝගයක්ව පවතිනවා.
ඒ නිසා, ජාන තාක්ෂණය, නැනෝ තාක්ෂණය තොරතුරු සන්නිවේදන තාක්ෂණය වැනි තාක්ෂණ ප්‍රචලිත කිරීමෙහිලා අප විසින් ආයෝජනයන් කළ යුතුයි. එමෙන්ම රටක් වශයෙන් අප සිරවී සිටින මැදි ආදායම් උගුලෙන් ගැලවී ඉන් ඉදිරියට යාමට නම් ජාතික සංවාදයක් සහ විධිමත් වැඩපිළිවෙළක් රටට අත්‍යාවශ්‍යයි" යනුවෙන් වැඩමුළුවට සහභාගි වූ විද්‍යාර්ථයින්, ව්‍යාපාරිකයින්, පෞද්ගලික හා රජයේ අංශ නියෝජනය කරන නිලධාරීන්ට අමාත්‍යවරයා පවසා සිටියේය.