ආර්ථික සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් නිසි පරිපාලන ව්‍යුහයක් සකසා ඔවුන්ගෙන් රටේ සංවර්ධනයට සැබෑ සේවයක් ලබාගැනීමට කටයුතු කරන බවත්, ග්‍රාමීය ආර්ථිකය නංවාලීමේදී ඔවුන්ගේ සේවාව වඩාත් ඵලදායීව ලබාගැනීම එහි අපේක්ෂාව බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ අදහස් පළ කර සිටියේ, ස්වදේශ කටයුතු අමාත්‍යංශයට අනුයුක්ත කරන ලද 14,000කට අධික ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සමිති නියෝජිතයන් සමග 22දා පැවති සාකච්ඡාවකදීය. නව පරිපාලන ව්‍යුහය සකස් කිරීම සඳහා එම නියෝජිතයන්ගේ අදහස් විමසීම වෙනුවෙන් මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.
ආර්ථික සංවර්ධන නිලධාරීන් ලෙස පසුගිය රජයෙන් උපාධිධාරීන්ට පත්වීමක් හිමිවුවද සිය සේවාව සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් මෙතෙක් නොතිබූ බව මෙහිදී එම නියෝජිතයන් පෙන්වා දී තිබේ. එබැවින් තමන් සමග ග්‍රාම සංවර්ධනයේදී කටයුතු කරන සෙසු රාජ්‍ය නිලධාරීන් හමුවේ තමන් අපහසුතාවට පත් වූ බවත්, එම ගැටළු නව පරිපාලන ව්‍යුහය හරහා නිරාකරණය කර දෙන ලෙසත් ඔවුහු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.