ආභරණ භාණ්ඩ නිෂ්පාදකයන්ට අවශ්‍ය කරන පරිදි රිදී ප්‍රමාණය වෙළෙඳ පොළේ පවතින මිලට වඩා අඩු මුදලකට ලබාදීමට ජාතික ශිල්ප සභාව හරහා අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින නිසා, එවැනි සාම්ප්‍රදායික භාණ්ඩ නිෂ්පාදකයන් මින් ඉදිරියට බාහිර වෙළෙඳපොළෙන් වැඩි මිලට රිදී මිලදීගැනීම අනවශ්‍ය බව සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
පසුගියදා මහනුවර පාතහේවාහැට ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ නීලවල ග්‍රාමයේ පැවති උත්සවයකදී අමාත්යවරයාමෙසේ අදහස් දැක්වීය.
මෙහිදී තවදුරටත් කතාකළ අමාත්‍යවරයා,"මෙරට සාම්ප්‍රදායික කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම උදෙසා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර අයවැයෙන් රු.මිලියන 100 ක මුදලක් වෙන්කරදී තිබෙනවා. ඒ අනුව දිවයින පුරා දිස්ත්‍රික්ක ගණනාවකදී සාම්ප්‍රදායික හස්තකර්මාන්තකරුවන් වාසය කරන ගම්මාන 12 ක් තෝරාගෙන සංවර්ධනය කරගෙන යනවා. මහනුවර දිස්ත්‍රික්කයේ නීලවල ආභරණ නිෂ්පාදන ගම්මානය හා කූරගල සංගීත භාණ්ඩ නිෂ්පාදන ගම්මානයත් විවෘත කිරීමට ලැබුනේ ඒ අනුවයි" යනුවෙන් පවසා සිටියේය.
එම අවස්ථාවට සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක සහ අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝතී යන මහත්වරුද එක් වී සිටියහ.