රාජ්‍ය සහ පෞද්ගලික අංශ සහයෝගීතාවයෙන් ආපදා කළමණාකරණ සහ තිරසාර සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර සමුළුව පසුගිය සඳුදා (05දා) යාපනයේදී පැවැත්විණි. කොරියාව, ජපානය, ඉන්දුනීසියාව, පකිස්ථානය, බංග්ලාදේශය, පිලිපීනය යන රටවල සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්හි නියෝජිතයන් 150ක් පමණ මෙම අවස්ථාවට එක්වූහ.
යාපනය දිස්ත්‍රික් ලේකම් වී.වේදනායගම් මහතා මෙම සමුළුවෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් එල්.බී.ආර්.මාර්ක් මහතා විශේෂ ආරාධිතයා ලෙස එක්විය. ශ්‍රී ලංකාවේ ජපාන් තානාපති කාර්යාලයේ ඔකාසි අසාකෝ මහත්මිය, ආසියා පැසිෆික් ආපදා කළමණාකරණ සංසදයේ සභාපති සහ ඉන්දුනීසියා ආපදා කළමණාකරණ සංවිධානයේ උපදේශක කමිටු සාමාජික ෆයිසාල් ජලාල් මහතා සහ යාපනය වාණිජ මණ්ඩලයේ සභාපති වී.විග්නේෂ් මහතාද විශේෂ ආරාධිතයන් ලෙස මෙම අවස්ථාවට එක්වූහ.
ආපදා තත්ත්ව යටතේ ඉක්මණින් යථාතත්ත්වයට පත්විය හැකි සමාජයක් බිහිකිරීම, ආපදා කළමණාකරණය වෙනුවෙන් රාජ්‍ය සහ ව්‍යාපාරික ප්‍රජාව අතර සහයෝගීතාවට මගපෑදීම, ඒ සඳහා පෞද්ගලික අංශයේ උපරිම දායකත්වය ලබාගැනීම, ප්‍රාදේශීය ව්‍යාපාරික ප්‍රජාව දැනුමෙන් සන්නද්ධ කිරීම සමුළුවේ ප්‍රධාන අරමුණු වී තිබේ.