සංශෝධනය කරනලද නව දේශීය ආදායම් පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාවේ වාර්ෂික ආදායම රු.ලක්ෂ 12කට අඩුවෙන් ආදායම් ලබන කිසිවෙකුට බදු ගෙවීමට සිදු නොවන බවත්, එබැවින් සාමාන්‍ය කම්කරුවා ඇතුළු බහුතරයකට බලපෑමක් ඇති නොවන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිර්දේශ කරනු ලැබූ සංශෝධන 111ක් ඇතුළත් කරමින් නව දේශීය ආදායම් පනත් කෙටුම්පත ලබන සිකුරාදා (25දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේ අමාත්‍යාංශයේදී ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මැලේසියාව වගේ රටක සමස්ත බදු ප්‍රමාණයෙන් 70%ක්ම ලැබෙන්නේ ආදායම් බදුවලින්. එහි වක්‍ර බදු ප්‍රතිශතය 28%ක් පමණයි. ඉන්දියාව 50%කටත් වඩා ආදායම් බදුවලින් ලබා ගන්නවා. ඒ වගේම, පකිස්තානය, බංගලාදේශය වැනි රටවලත් ඉහළ ආදායම් බදු ප්‍රතිශතයක් ලබා ගන්නවා. ඉතිරි සම්පූර්ණ බදු මුදල ලබාගන්නේ සමාන්‍ය ජනතාව එදිනෙදා භාවිත කරන ආහාර ද්‍රව්‍ය සහ පරිභෝජන භාණ්ඩවලට ගෙවනු ලබන වක්‍ර බදුවලිනුයි.
ඒ නිසා 20% - 80% මට්ටමේ පවතින සෘජු බදු හා වක්‍ර බදු අනුපාතය 40% - 60% දක්වා අඩු කිරීමට ඊළඟ වසර කිහිපය තුළ සිදුකිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව, සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන නව දේශීය ආදායම් පනත හරහා මේ සඳහා අත්තිවාරමක් ලැබෙනවා.
මේ සඳහා අපි දේශීය ආදායම් පනතට අදාළ මූලික කෙටුම්පත ඉතා ගැඹුරින් අධ්‍යනය කරලා ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද නිර්දේශ කරනු ලැබූ සංශෝධන 111ක් සහිතව මේ පනත ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
මේ පනතේ එන බදු ගැන සඳහන් කළොත්, ශ්‍රී ලංකාවේ වාර්ෂික ආදායම රු.ලක්ෂ 12කට අඩුවෙන් ආදායම් ලබන කිසිම පුද්ගලයෙකුට බදු ගෙවීමට සිදුවන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය කම්කරුවා ඇතුළු බහුතරයකට බලපෑමක් ඇති වන්නේ නැහැ. ඒ වගේම, රටට ආදරය කරන, ඉහළ ආදායම් ලබන කිසිවකු මීට විරුද්ධ විය යුතු නැහැ” යැයි සඳහන් කළේය.