අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවයි
ශ්රී ලංකා සුරැකුම්පත් කොමිෂන් සභාව අගලවත්ත වතු සමාගමේ කොටස් ගනුදෙනුවේ මුදල් ගෙවීම අත්හිටුවා තිබේ.
පසුගිය සතියේ කොටස් වෙළෙඳ පොළ හරහා සිදුවූ අගලවත්ත වතු සමාගමේ කොටස් මිලියන 15.2ක ගනුදෙනුවේ මුදල් එම කොටස් විකිණූ මැක්වුඩ්ස් ප්ලාන්ටේෂන් වතු සමාගමට ලබාදීම තාවකාලිකව නතර කරන ලෙස ශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එම ගනුදෙනුව ක්රියාත්මක කළ ක්ලැරිජ් ස්ටොක්බ්රෝකර් සමාගමට ඊයේ (20දා) නියෝගයක් නිකුත් කර තිබේ.
පසුගිය සතියේ මැක්වුඩ්ස් ප්ලාන්ටේෂන් සමාගම විසින් එම සමාගම සතුව පැවති අගලවත්ත ප්ලාන්ටේෂන් සමාගමේ කොටස් මිලියන 15.2ක් (60.8%) විකුණන ලද අතර, ඉන් පසුව නිර්මලී සමරතුංග සහ එම්.ජේ. වර්මා යන මහත්මීන් විසින් එම ගනුදෙනුව පිළිබඳව ශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට පැමිණිලි කර තිබුණි. එමගින් ඔවුන් දන්වා තිබුණේ ආචාර්ය ක්රිස් නෝනිස් මහතා විසින් කොටස් හිමියන්ගේ නිසි අනුමැතියකින් සහ නිසි අධිකාරියකින් තොරව, මැක්වුඩ්ස් ප්ලාන්ටේෂන් සමාගම සතුව පැවති අගලවත්ත වතු සමාගමේ කොටස් විකුණා ඇති බවය.
ඊයේ (20දා) මේ පිළිබඳව නියෝගයක් නිකුත් කළ ශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින් මෙම ගනුදෙනුව සිදුකළ ක්ලැරිජ් ස්ටොක්බ්රෝකර්ස් සමාගමට දන්වා ඇත්තේ මෙම ගැටලුව පිළිබඳව විමර්ෂණයක් කරන තුරු එම මුදල් කොටස් විකුණූ සමාගමට ලබාදීම අත්හිටුවන ලෙසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

