ශ්‍රී ලංකාව මුහුදු සේද මාර්ගයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වීම මෙවර චීන-ආසියාන් අපනයන ප්‍රදර්ශනය (CAEXPO) සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කිරීමට මූලික හේතුව වූ බව CAEXPO ලේකම් කාර්යාලයේ මහ ලේකම් වන්ග් ලී මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ චීන-ආසියාන් අපයනයන ප්‍රදර්ශනය නිමා කරමින් ඊයේ (14දා) පැවැති මාධ්‍ය හමුවේදීය.
"21 වැනි සියවසේ මුහුදු සේද මාර්ගය නිර්මාණය කිරීම මෙවර ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණු අතර තිබුණා. මුහුදු සේද මාර්ගයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස අප ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා අප ශ්‍රී ලංකාවට මෙම ප්‍රදර්ශනය සඳහා ඇරයුම් කළා. මෙතෙක් චීන-ආසියාන් අපනයන ප්‍රදර්ශනය (CAEXPO) රටවල් 11කට සීමා වුණා. එහෙත් එය මුහුදු සේද මාර්ගයේ රටවල් සමග බද්ධ කර රටවල් 16ක් දක්වා වර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව මෙවර විශේෂ ආරාධිත රට ලෙස ආරාධනා ලැබුවේ ඒ අනුවයි" යනුවෙන් මාධ්‍ය‘වේදීන් ශ්‍රී ලංකාවේ සාමාජීකත්වය ගැන නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් CAEXPO මහ ලේකම්වරයා සඳහන් කළේය.
මෙවර ප්‍රදර්ශනය ඉතිහාසයේ සාර්ථකම ප්‍රදර්ශනය බවද, ප්‍රථම වතාවට ආසියාන් කලාපයෙන් පිට ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල්ද එක් කරගනිමින් ප්‍රදර්ශනය ව්‍යාප්ත කිරීමට හැකිවූ බවද වන්ග් ලී මහතා පැවසීය.
එසේම ප්‍රදර්ශනය හරහා රටවල් රැසකට ද්විපාර්ශ්වික වාසි සලසා ගැනීමට හැකිවූ බවද ඔහුගේ අදහස විය. මෙවර ප්‍රදර්ශනයට සමගාමීව සමුළු 34ක් පැවැත්වීමට හැකි වූ බවද මෙහිදී අනාවරණය විය.
ඊයේ (14දා) අවසන් දිනය, මහජනතාවට විවෘත වූ දිනය ලෙස ප්‍රදර්ශනය නැරඹීමට අති විශාල ජනකායක් පැමිණ සිටියහ. මෙහිදී ශ්‍රී ලංකා වෙළෙඳ කුටිවලට සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන කුටියට විශාල පිරිසක් එක් රැස්වූහ. ශ්‍රී ලංකාවේ අත්කම් භාණ්ඩ ප්‍රදර්ශනයට පැමිණි වැඩිදෙනාගේ අවධානයට ලක්විය.
චීනයේ, නැන්නින්ග් නුවර අද වාර්තාකරු