Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
චීනය සහ ආසියාන් කලාපයේ සාමාජික රටවල් අතර ද්විපාර්ශ්වික එකඟතා වර්ධනය කිරීම වෙනුවෙන් වන චීන - ආසියාන් අපනයන ප්‍රදර්ශනය (CAEXPO) සහ චීන-ආසියාන් ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව (CABIS) සැප්තැම්බර් 11 වැනිදා සිට 14 වැනිදා දක්වා චීනයේ ගුඅන්ග්ෂිහි නැන්නින්ග් හිදී පැවැත්වීමට නියමිතව තිබේ. 13 වැනි වරටත් පවත්වන මෙම සමුළුව සඳහා සහභාගි වන ලෙස චීනය ලොව සෑම රටකටම පාහේ විවෘත ආරාධනාවක් සිදුකරයි.
පසුගිය ජූලි මාසයේදී චීනයේ රාජ්‍ය කවුන්සිල තොරතුරු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී, චීනයේ වෙළෙඳාම පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගාඕ යැන් විසින් මෙම අවස්ථා ද්විත්වය පිළිබඳවම සැවොම දැනුම්වත් කරන ලදී. එහිදී අනාවරණය වූ කරුණු අනුව, පසුගිය මැයි මාසය වනවිට චීනය සහ ආසියාන් රටවල් අතර පැවැති ද්විපාර්ශ්වික ආයෝජනයන්ගේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 160 ඉක්මවයි.
මෙහිදී විශේෂයෙන්ම මෙම CAEXPO හරහා චීන රජය තමා සිදු කරන සමාගම් වෙත ආසියාන් රටවල ආයෝජන සඳහා දිරිමත් කිරීම හුදෙක් සමාගම්වල සංවර්ධනය පමණක් නොව, ආසියාන් රටවල ජනතාවටද ඒ හරහා ප්රතිලාභ ලබාදීමේ අරමුණින් වන බවත්, මෙම CAEXPO හරහා සෑම වසරකදීම දෙපාර්ශ්වය වෙතම සම වාසි හිමිවන තත්ත්වයන් උදා වී ඇතැයිද සඳහන් කර සිටියි. එහිදී මූලිකවම මෙවර සමුළුවේ විශේෂ ආරාධිත රට ලෙසට ශ්‍රී ලංකාව තෝරා ගෙන තිබීමත් කැපී පෙනෙන අවස්ථාවකි.
සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන මෙම 13 වැනි CAEXPO ප්‍රදර්ශනය ජාත්‍යන්තර ආර්ථික සහ කර්මාන්ත සහයෝගිතාව පිළිබඳ වේදිකාවක් මෙන්ම නවීන තාක්ෂණය පිළිබඳ වේදිකාවක්ද තනා දෙන අවස්ථාවක් බවට පත්වෙයි. ඒ අනුව මේ සඳහා දායකත්වය දක්වන ප්‍රදර්ශක සමාගම් චීනයේ නවීන තාක්ෂණය හා සම්බන්ධ කර්මාන්ත හා ප්‍රධාන වශයෙන්ම කටයුතු කළ ඒවා බවටද හඳුනාගෙන තිබේ. එහිදී ජාත්‍යන්තර ව්‍යාපෘති කොන්ත්‍රාත්තු, කම්කරු සහයෝගිතාව, සම්පත් සංවර්ධනය, තොරතුරු තාක්ෂණය, බලශක්ති සංවර්ධනය, යටිතල පහසුකම් ඉදිකිරීම, කර්මාන්ත උද්‍යාන සංවර්ධනය යනාදිය උදාහරණ වෙයි.
එසේම මෙහි ඉදිරි අවස්ථාව ලෙස උසස් තාක්ෂණික නිෂ්පාදනයන් ඇතුළත් වන අතර, ස්මාට් නගර, නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව සහ ජාත්‍යන්තර නවෝත්පාදනද සම්බන්ධ කෙරේ. මේ හරහා පසුගිය 12 වැනි සමුළුවේදී සකස් කෙරුණු පස් අවුරුදු සැලසුම සහ ආසියාන් තාක්ෂණික නවෝත්පාදන ඉදිරිපත් කෙරෙන චීනයේ ප්‍රධාන විද්‍යාත්මක සහ තාක්ෂණික සාර්ථකත්වයන් ප්‍රදර්ශනය කිරීමත් අපේක්ෂාව වෙයි.
මේ අතරම CAEXPO මගින් සෑම වසරකදීම සංවිධානය කෙරෙන ආයෝජන සහ අරමුදල් රැස්කිරීමේ සම්මන්ත්රණ වෙතද චීනයේ සහ ආසියාන් රටවල ප්‍රධාන පෙළේ සමාගම් රැසක්ම සහභාගි වෙයි. ඒ අතරින් CAEXPO හි රන් මට්ටමේ ප්‍රදර්ශකයෙකු වන චයිනා නොන්ෆෙරොස් මෙටල් මයිනිං (සමූහ) සමාගම මේ හරහා ප්රතිලාභ ලබන ප්‍රධාන සමාගම් අතරින් අයෙකු වෙයි. එම සමාගමේ නියෝජිතයෙකු වන වැන්ග් චැන්ග්මින්ග් මාධ්‍ය වෙත අදහස් දක්වමින්, "CAEXPO යටතේ අපි ගුඅන්ග්ෂි පළාතේ නගර තුනක් වන ලියුෂොයු, ගුයිලින් සහ හෙසොයු හි සමාගම් තුනක් පිහිටුවා තිබෙනවා. ඒ වගේම ආසියාන් රටවල සිදුකර ඇති සම්පූර්ණ ආයෝජනය රෙන්බින්බි හෙවත් චීන යුආන් බිලියන 6 ක්. මේ හරහා බොහෝ ප්රතිලාභ අප රැස් කරමින් සිටිනවා" යනුෙවන් පවසා සිටියේය.
"අපි CAEXPO තෝරාගත්තේ චීනයට සහ ආසියාන් කලාපයට එහි ඇති බලපෑම හරහා ප්‍රධාන පෙළේ ආයෝජකයන් ඈඳා ගැනීමට අපිට හැකියාව ලැබීම නිසයි" යනුවෙන් ඔහු 12 වැනි CAEXPO සමුළුවට සහභාගි වෙමින් ලාඕස් ගෝල්ඩන් ට්‍රෑන්ගල් විශේෂිත ආර්ථික කලාපයේදී සඳහන් කළේය.එසේම බොහෝ චීන සමාගම් රැසක්ම මෙම CAEXPO ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන් හරහා ආසියාන් වෙළෙඳ පොළ රැසක් සොයා යාමට කටයුතු යොදා තිබේ. බොහෝ සහයෝගිතා ව්‍යාපෘති රැසක්ද ආසන්න කාලසීමාවේදී දියත්වීමත් කැපී පෙනෙයි. ඒ අතරින් චීනයේ ගුඅන්ග්ෂි ඉලෙක්ට්‍රික් පවර් එක්ස්ප්ලොරේෂන් ඇන්ඩ් ඩිසයින් ආයතනය විසින් වියට්නාමයේ සොන්ග් කොන් ජල විදුලි බලාගාරය ඉදිකිරීම උදාහරණයකි. එසේම ගුඅන්ග්ෂි ස්ටේට් ෆාර්ම්ස් මින්ග්යාන්ග් බයෝකෙමිකල් සමූහය මගින් වියට්නාමයේ බදින ලද මඤ්ඤොක්කා පෙති සකස් කිරීමේ කර්මාන්තශාලාව, ගුඅන්ග්ෂි ස්ටේට් ෆාර්ම්ස් සමූහ සමාගම විසින් චීන - ඉන්දුනීසියානු ආර්ථික සහ වෙළෙඳ සහයෝගිතා කලාපය ස්ථාපිත කිරීම යනාදියද ඒ අතර පවතියි.
12 වැනි CAEXPOහි සමාරම්භක අවස්ථාව අමතමින් චීනයේ රාජ්‍ය කවුන්සිලයේ උප ප්‍රධානී සැන්ග් ගැඕලි, "මෙම චීන - ආසියාන් කර්මාන්ත සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කළ යුතුයි" යනුවෙන් පවසා සිටියේය.විශේෂයෙන්ම ශක්තිමත් දායකත්වයක් සහ ඉහළ හැකියාවන්ද සමගින් මෙම කර්මාන්ත සහයෝගිතාව චීන - ආසියාන් ආයෝජන සහයෝගිතාවේ ප්රමුඛ ස්ථානයක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම ජාත්‍යන්තර කර්මාන්ත සහයෝගිතාව පිළිබඳව වන වැඩසටහන් රැසක්ම පසුගිය වසරේ පැවැත් වූ 12 වැනි CAEXPO ආයෝජක හමුවේදී ප්‍රථම වරට සංවිධානය කෙරිණි. එසේම CAEXPO හි ගිවිසුම් වෙත එළැඹීමේ උත්සවයේදී කර්මාන්ත සහයෝගිතා ව්‍යාපෘති 34 ක් වෙත අත්සන් තැබීමද සිදුවිය.
මෙහි පැවැත්වුණු විශේෂිත ව්‍යාපෘති එක්කිරීමේ වැඩසටහනේදී, චීන සමාගම් 60 කට අධික සංඛ්‍යාවකින් පැමිණි නියෝජිතයෝ, ආයෝජන ප්‍රවර්ධන සමාගම් සහ ආසියාන් රටවල ව්‍යාපෘති හිමිකරුවන් ඇතුළුව පිරිසක් මෙම කර්මාන්ත පුරය පිළිබඳව මුහුණට මුහුණ සාකච්ඡාවේ නිරත වූහ. මෙහිදී සිනෝ-තායි රේයොන්ග් කර්මාන්ත කලාපය, කාම්බෝජයේ සිහානොයුක්විලි විශේෂිත ආර්ථික කලාපය, ඉන්දුනීසියාවේ කර්මාන්ත පුරය, මියන්මාරයේ මින්ගලාඩොන් කර්මාන්ත පුරය සහ පිලිපීනයේ සැම්බොඅන්ගා සිටි විශේෂිත ආර්ථික කලාපය යනාදිය ව්‍යාපෘති 11 ක් වෙත සහයෝගිතාව දැක්වීම සඳහා ඉදිරිපත්වීම කැපී පෙනෙයි.
CAEXPO මහලේකම් කාර්යාලයේ නිලධාරීන්ට අනුව ඉහත සදහන් කළ වැඩසටහන් ලබන සැප්තැම්බරයේදී පැවැත්වෙන 13 වැනි CAEXPOහිදී සංවිධානය වීමට නියමිතව තිබේ. ඒ අනුව ආසියාන්හි සාමාජික රටවල රජයේ නිලධාරීන්, ජාත්‍යන්තර මූල්‍ය සංවිධානවල නියෝජිතයන්, විශේෂඥයන්, උගතුන් සහ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු විශාල පිරිසකට මේ අවස්ථාව සඳහා සහභාගි වන ලෙස ආරාධනා කර ඇත. එහිදී විශේෂයෙන්ම ප්‍රමුඛතාව ලබාදිය යුතු ක්ෂේත්‍ර සහ ජාත්‍යන්තර කර්මාන්ත සහයෝගිතාව සංවර්ධනය කිරීම සදහා ලබාගත හැකි පියවරයන් සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරේ.
චීනයේ ප්‍රධාන පෙළේ සමාගම් රැසක්ද දැනටමත් මේ 13 වැනි CAEXPOසඳහා සහභාගි වන බවට දන්වා ඇති අතර, ඇලුමිනියම් කෝපරේෂන් ඔෆ් චයිනා, චයිනා ඉන්ටර්නැෂනල් වෝටර් ඇන්ඩ් ඉලෙක්ට්‍රික් කෝපරේෂන්, චයිනා නැෂනල් මැෂිනරි ඉම්පෝට් ඇන්ඩ් එක්ස්පෝට් කෝපරේෂන්, චයිනා රෝඩ් ඇන් බ්‍රිජ් කෝපරේෂන්, චයිනා රේල්වේ ඔරියන්ටල් ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන් කෝපරේෂන්, චයිනා ඉලෙක්ට්‍රොනික් කෝපරේෂන්, CRRC කෝපරේෂන් ලිමිටඩ්, චයිනා නැෂනල් හෙවි ඩියුටි ට්‍රක් ගෘප් කෝපරේෂන් ලිමිටඩ්, ස්ටේට් පවර් ඉන්වෙස්ට්මන්ට් කෝපරේෂන්, චයිනා ඩටාන්ග් කෝපරේෂන් සහ චයිනා සදර්න් පවර් ග්‍රිඩ් යන සමාගම් ඒ අතරින් ප්‍රධාන වෙයි. එසේම බීජිං, ටිආන්ජින්, ෂෙන්ජිආන්ග්, ජිආන්ග්සු, අන්හුයි, සුෂිආන්, යුනාන් සහ ගුයිෂොයු යන චීනයේ ප්‍රධාන නගරසභා සහ පළාත්හි විදේශ ආර්ථික හා වෙළෙඳ දෙපාර්තමේන්තු සහ ආයෝජන ප්‍රවර්ධන ආයතනයන්හි පිරිස්ද මීට එක්වෙයි.
2013 වසරේදී පැවැත්වුණු 10 වැනි CAEXPO වෙත සහභාගිවූ ප්‍රංශයේ ඉසරේහි, වාණිජ මණ්ඩල සහ කර්මාන්ත පිළිබඳ මූල්‍ය කමිටුවේ සභාපති ෂීන්පියරේ ගිරාර්ඩ්, මෙම CAEXPO යනු ඉහළ මට්ටමේ ආයෝජන සමුළුවක් බව සඳහන් කළේය. ඒ අනුව මෙම අවස්ථාව ලොව පුරා සිටින ව්‍යාපාරිකයන්ට සිය අදහස් හුවමාරු කරගැනීමටත් කතාබස් කිරීමටත් අවස්ථාවක් බව ඔහු හඳුන්වා දුන්නේය. මේ අතරම සුපුරුදු පරිද්දෙන් 13 වැනි CAEXPO හිදී ඉහළ මට්ටමේ සම්මන්ත්රණ සහ හමු පැවැත්වෙන බවත් සංවිධායකයෝ සඳහන් කරති. විශේෂයෙන්ම චීනයත් ආසියාන් කලාපයත් අතර පවතින සහයෝගිතාව සහ ආයෝජන ප්‍රවර්ධනය කරමින් දෙපාර්ශ්වය අතර වඩා වැඩි ව්‍යාපාරික අවස්ථා බිහිකිරීම එහි අරමුණ බව ඔවුන් පවසා සිටියි.
ඒ අනුව, මෙම ආයෝජන ප්‍රවර්ධන අවස්ථාවන් සහ වැඩසටහන් යටතේ, 21 වැනි සියවසේ සාගරික සේද මාවතේ ජාත්‍යන්තර කර්මාන්ත සහ උපාංග නිෂ්පාදන සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් දෙවැනි වරට මෙම හමුව සංවිධානය කෙරේ. එසේම ආයෝජන, ආසියාන් කර්මාන්ත පුරය පිළිබඳ ප්‍රවර්ධන සම්මන්ත්රණ, චීන - ආසියාන් යටිතල පහසුකම් හමුව 2016 යනාදිය සම්බන්ධයෙන් CAEXPO වටමේස සාකච්ඡාවක්ද පැවැත්වෙයි. එහිදී ආසියාන් සංගමයට සම්බන්ධ රටවල් 10 සහ චීනයේ ප්‍රධාන පළාත් සහ නගරවල නිලධාරීන් ඇතුළු පිරිසක් ආයෝජන සහ අරමුදල් රැස් කිරීම පිළිබඳව වන සම්මන්ත්රණ සහ ව්‍යාපෘති ගැළපීම යනාදී කටයුතුවල යෙදෙයි. එසේම දේශපාලන නියෝජිතයන්, උගතුන් සහ ව්‍යාපාරික ප්රජාවද අලුත්ම තොරතුරු හුවමාරුව සහ සංවර්ධන සහ සහෝගිතාව පිළිබඳ සාකච්ඡාව වෙනුවෙන් මෙහිදී එකට එකතුවීමටද නියමිතය.
මෙම CAEXPO ආයෝජන ප්‍රවර්ධන වැඩසටහනේ තවත් ප්රතිලාභියෙකු ලෙස ගුඅන්ග්ෂි ආයෝජන සමූහ සමාගම හඳුනාගෙන තිබේ. එම සමූහයේ සභාපති ෆෙන්ග් ලියුජිආන්ග්, "CAEXPO වෙත ස්තූති වෙන්න අපි ආසියාන් රටවල් තුළ චීන යුආන් මිලියන 30ක් ආයෝජනය කරලා තියෙනවා. අපේ ආයෝජන ව්‍යාපෘතින් ඉන්දුනීසියාව, මැලේසියාව සහ වියට්නාමය වගේ රටවල බොහෝ ක්ෂේත්‍ර සහ ව්‍යාපාරික අවස්ථාවන් ආවරණය කර තිබෙනවා" යනුවෙන් පවසා සිටියි.
මේ අතරම චීනය සහ ආසියාන් රටවල් අතර ආයෝජන හුවමාරුව සහ සහයෝගිතාව වර්ධනය උදෙසා තවත් අවස්ථා ඇති කිරීම වෙනුවෙන් අතුරු වැඩසටහන් රැසක්ම සංවිධානය කිරීමටත් මෙම CAEXPO හි සංවිධායකයෝ බලාපොරොත්තුව සිටිති. ඒ අනුව මේ සඳහා සහභාගි වන රටවලට පෙර-ගැළපීමේ සේවාවක් ලබාදීම ඉන් ප්‍රධාන වෙයි. එහිදී සමුළුව පැවැත්වෙන භූමියේදී ගැළපීමේ වැඩසටහනක් පැවැත්වීමටත් සංවිධායකයන් කටයුතු යොදා තිබේ. මෙම අවස්ථාවේදී ප්‍රදර්ශකයන් සහ ගැනුම්කරුවන් සිය ඉල්ලුම්පත්‍රය තුළ සිය බලාපොරොත්තු පිළිබඳව සටහන් කිරීම, ප්‍රදර්ශනය නැරඹීමේ අවස්ථාවක් ගැනුම්කරුවන් වෙත සංවිධානය කිරීමත් එක් අවස්ථාවකි. ඒ හරහා ප්‍රදර්ශනයට සහභාගිවන්නන් වෙත නවතම කර්මාන්ත තොරතුරු පිළිබඳව දැනුම්වත් වීමේ අවස්ථාව ලබාදීම මෙන්ම චීන සහ ආසියාන් සමාගම් අතර අන්තර් සහයෝගිතාව ශක්තිමත් කිරීමත් අපේක්ෂාවයි.
මෙවර 13 වැනි CAEXPO ආයෝජන ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රධාන අංග පැවැත්වෙන නැන්නින්ග්හි ජාත්‍යන්තර සම්මන්ත්රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානය (NICEC) නව ප්‍රදර්ශන ශාලාද සමගින් වඩාත් විශාල ප්‍රමාණයේ ඉඩක් සහ ප්‍රදර්ශන අවකාශයක් සහිතව ඉදිරිපත්ව තිබේ. එසේම සහයෝගිතා පහසුකම්ද පෙරට වඩා දියුණු කිරීමටත් වඩාත් ව්‍යාපාරික මිත්‍රශීලී සේවාවන් ලබාදීමටත් කටයුතු යොදා ඇත. ඒ අතර ආපනශාලා, ප්‍රවාහන, ආරක්ෂක පිරික්සීම, ප්‍රදර්ශන භාණ්ඩ ප්‍රවාහනය සහ රේගු නිෂ්කාශන යනාදියද පවතින බව සදහන් වෙයි.
13 වැනි CAEXPO හි සංවිධායකයන් සඳහන් කරන ආකාරයට මෙවර සමුළුව සඳහා චීනයේ ප්‍රධාන ධාරාවේ සහ චීනයේ කර්මාන්ත හා සම්බන්ධ මාධ්‍ය ඇතුළු මාධ්‍ය ආයතන 170ක් සහභාගිවීමට නියමිතය. එසේම ආසියාන් සහ අනෙකුත් රටවල මාධ්‍යද මෙම 13 වැනි CAEXPOහි සහ ඊට අදාළ අවස්ථා ආවරණය කිරීම සදහා පැමිණීමට නියමිතව තිබේ. ඒ හරහා චීන සහ ආසියාන් ආයෝජන වටපිටාව සහ ප්‍රතිපත්ති මෙන්ම ව්‍යාපාරික තොරතුරුද වඩාත් හොඳින් ව්‍යාප්ත කිරීම අරමුණයි. මීට අමතරව නැන්නින්ග් ජාත්‍යන්තර සම්මන්ත්රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ ඉදිකර ඇති නව මාධ්‍ය කුටිය හරහාද වඩාත් මිත්‍රශීලී පහසුකම් රැසක් ලබාදීමට සූදානමින් සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd