ශ්රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ කීර්තිමත් වන්වර්ල්ඩ් ගුවන් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්රී ලංකන් ගුවන් සේවය සිය විශාලතම විදේශ වෙළෙඳ පොළ වන ඉන්දියාව ඉලක්ක කර ගනිමින් සිදුකළ 'Serendipity Right Next Door' සන්නාම වීඩියෝව එළිදක්වා පැය 19ක කාලයක් තුළ ගෝලීය සමාජ ජාල හරහා එය නැරඹූ ප්රමාණය මිලියන 5 ඉක්මවා තිබේ.
ශ්රී ලංකා ඉතිහාසයේ ශ්රී ලංකන් වෙළෙඳ නාම වීඩියෝවක් මිලියන 5ක් නැරඹූ පළමු වැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. එසේම ශ්රී ලංකාවේ වීඩියෝවක් පැය 12 ක කාලයක් තුළ දර්ශනවාර මිලියනය දක්වා වේගයෙන් ලඟා වූ වීඩියෝව ලෙස ද මෙය එය වාර්තාවක් තැබීය.
ශ්රී ලංකාවේ අතිශය ජනප්රියම පුද්ගලයන් දෙදෙනෙකු වන බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් සහ හිටපු ක්රිකට් නායක කුමාර සංගක්කාරගේ නිරූපනයන් තුළින් ශ්රී ලංකාවේ සුන්දරත්වය විඳහා පෙන්වන මෙම 'Serendipity Right Next Door' වීඩියෝව පසුගියදා එළිදක්වන ලදී.
මෙම වීඩියෝව මගින් ශ්රී ලංකාව නැමති සුන්දර දූපතේ සතුටට පත්වන ආකාරය ජැක්ලින් ෆර්නැන්ඩස් සිය ප්රේක්ෂකයන්ට තොරතුරු හෙළි කරන අතර, සංගක්කාර මහතා ශ්රී ලංකාවේ සුන්දරත්වය, සංස්කෘතිය, ආහාරවල ප්රනීතභාවය සහ ශ්රී ලාංකේය ආගන්තුක සත්කාරය සංකේතවත් කරන ජාතික ගුවන් සේවයේ ගුවන් මැදිරියේ අත්දැකීම් ප්රේක්ෂකයා වෙත රැගෙන යයි.