PickMe Explore සමගින් ඇරඹි ’Colombo Connect’
PickMe සමාගම සිය නවතම PickMe Explore වේදිකාව යටතේ කොළඹ නගරයේ ආකර්ෂණීය ස්ථාන, ආපනශාලා, විනෝදාස්වාද, සිල්ලර වෙළඳාම්, සංස්කෘතික ස්ථාන සහ ප්‍රවාහන සේවා ඩිජිටල් ලෙස එකිනෙකට සම්බන්ධ කිරීමේ අරමුණින් ප්‍රථම නගර මට්ටමේ ගමනාන්තය වන 'Colombo Connect' නිල වශයෙන් ආරම්භ කිරීම පසුගියදා සිදුවිය.
මේ සඳහා වූ සමාරම්භක උත්සවය කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, Colombo Connect වෙත එක්වූ ප්‍රථම ගමනාන්තය වන්නේද නෙළුම් කුළුණයි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා සහභාගී වූ අතර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා සහ කොළඹ නෙළුම් කුළුණ සමාගමේ සභාපති ශිරාන්ත පීරිස් මහතාද ඊට එක්වූහ.
'PickMe Explore' යනු මීට පෙර පැවති 'PickMe Events' (ලියාපදිංචි උත්සව තොරතුරු සහ ටිකට්පත් ලබා ගැනීමේ වේදිකාව) හි පුළුල් කළ නව සංස්කරණයයි. මෙම නව හඳුන්වාදීම යටතේ එය උත්සව තොරතුරුවලට පමණක් සීමා නොවී, එකම ඩිජිටල් අතුරුමුහුණතක් (digital interface) හරහා විවිධ ගමනාන්ත, ආකර්ෂණීය ස්ථාන, අත්දැකීම් සහ ප්‍රජාවන් එකිනෙකට සම්බන්ධ කිරීමට කටයුතු කරනු ඇත.
මෙම වේදිකාව ඔස්සේ පරිශීලකයින්ට විශේෂිත අත්දැකීම් හඳුනා ගැනීමටත්, ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමටත්, සුවිශේෂී වට්ටම් සහ දීමනා ලබා ගැනීමටත් අවස්ථාව හිමිවේ.
Colombo Connect හි ප්‍රථම පාර්ශ්වකරු ලෙස එක්වූ නෙළුම් කුළුණ, එහි ආරම්භක ඩිජිටල් ද්වාරය ලෙස ක්‍රියා කරයි. මෙහිදී, පැමිණෙන පාරිභෝගිකයන්ට PickMe Explore හරහා ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන, QR කේත මඟින් පහසුවෙන් ඇතුළු විය හැක. නෙළුම් කුළුණේ නිරීක්ෂණ මැදිරිය (Observation Deck) නැරඹීම සහ 'Pixel Bloom' අතථ්‍ය සහ අන්තර්ක්‍රියාකාරී ඩිජිටල් කලා කෞතුකාගාරය නැරඹීම සඳහා වන ප්‍රවේශ පත්‍ර දැනට මේ හරහා ලබා ගත හැකිය.
PickMe හි ප්‍රධාන විධායක නිලධාරී ජිෆ්රි සුල්ෆර් මහතා සඳහන් කළේ, කොළඹ නගරයට දකුණු ආසියාවේ ප්‍රමුඛතම නාගරික ගමනාන්තයක් වීමේ පූර්ණ හැකියාව පැවතියද, දැනට එහි පවතින ආකර්ෂණයන් සහ අත්දැකීම් වෙන් වෙන්ව ක්‍රියාත්මක වන බවයි.
"කොළඹ නගරය දකුණු ආසියාවේ වඩාත්ම උද්යෝගිමත් නාගරික ගමනාන්තයක් බවට පත්කිරීමට අවශ්‍ය සියල්ල දැනටමත් අප සතුව තිබෙනවා. අඩුවකට පැවතුණේ ඒ සියලු අත්දැකීම් එකට එකතු කරන පොදු වේදිකාවක්. අද වන විට ආකර්ෂණීය ස්ථාන, ආපනශාලා, කෞතුකාගාර, විනෝදාස්වාද ස්ථාන සියල්ල තනි තනිව ප්‍රචාරණ කටයුතු කරනවා. Colombo Connect මඟින් මෙම තත්ත්වය වෙනස් කර, සෑම සොයාගැනීමක්ම තවත් තැනකට මඟපාදන එකමුතු ගමනාන්තයක් ලෙස නගරය ඉදිරිපත් කරනවා" යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් ජිෆ්රි සුල්ෆර් මහතා පැවසීය.
මෙම පද්ධතිය පූර්ණ මට්ටමට ළඟා වූ පසු ප්‍රවාහන, ටිකට්පත්, ආගන්තුක සත්කාර, සිල්ලර වෙළඳාම සහ විනෝදාස්වාද ක්ෂේත්‍ර හරහා වසරකට රුපියල් බිලියන 30 කට අධික ගනුදෙනු ප්‍රමාණයක් ජනනය වනු ඇතැයි සමාගම ඇස්තමේන්තු කරයි.
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින් කොළඹට පැමිණ පැය කිහිපයකින් වෙරළබඩ තීරයන්, වනජීවී කලාප හෝ මධ්‍යම කඳුකරය වෙත නික්ම යන බැවින් අගනුවර සංචාරක ආදායම සීමා වී පවතී. Colombo Connect හි තවත් ප්‍රධාන අරමුණක් වන්නේ මෙම සංචාරකයින් අගනගරය තුළ ගත කරන කාලය දීර්ඝ කිරීමට උනන්දු කරවීමයි. සංචාරකයෙකු කොළඹ නගරය නැරඹීමට තවත් එක් දිනක් හෝ වැඩිපුර ගත කරන්නේ නම්, එහි ප්‍රතිලාභය සංචාරක ක්ෂේත්රයෙන් ඔබ්බට ගොස් ආපනශාලා, සිල්ලර වෙළෙන්ඳන්, හෝටල්, ප්‍රවාහන සේවා සපයන්නන් සහ ව්‍යවසායකයින් රැසකට හිමිවන බව සුල්ෆර් මහතා තවදුරටත් පැවසීය.
ඉදිරි අදියරවලදී කෞතුකාගාර, සංස්කෘතික ආයතන, විනෝදාස්වාද ස්ථාන, උත්සව සංවිධායකයින්, ආපනශාලා, රාත්‍රී සමාජශාලා සහ සිල්ලර වෙළඳසැල් රැසක් මෙම වේදිකාවට එක් කිරීමට නියමිතය. ඉදිරියේදී මෙම ආකෘතිය ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රධාන සංචාරක ගමනාන්ත වෙතද ව්‍යාප්ත කිරීමට PickMe සමාගම සැලසුම් කර ඇත.
මෙම අවස්ථාවට ප්‍රකට ඡායාරූප මාධ්‍යවේදිනියක සහ ග්රන්ථ කර්තෘවරියක වන ජුලියට් කුම්බ් මහත්මියද අදහස් දක්වමින් එක්වූවාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
