LOLC සමූහය ශක්තිමත් වර්ධනයක් වාර්තා කරයි
2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී ශක්තිමත් මෙහෙයුම් ක්රියාකාරීත්වයක් වාර්තා කළ අතර, එය ආදායම් වර්ධනය, මූලික මෙහෙයුම් ලාභදායීතාවයේ කැපී පෙනෙන ප්‍රසාරණය සහ මූල්‍ය සේවා කේන්ද්‍ර කරගත් විවිධාංගීකරණ ව්‍යාපාර ආකෘතියේ අඛණ්ඩ වර්ධනය මගින් ශක්තිමත් වී ඇත.
රටවල් 27ක ජාත්‍යන්තර මෙහෙයුම් සමඟින් LOLC සමූහය, මූල්‍ය සේවා, වතු වැවිලි හා කෘෂිකර්ම, නිෂ්පාදන හා වෙළෙඳාම, විවේක හා ආගන්තුක සත්කාර, දේපළ සංවර්ධනය සහ රක්ෂණ යන ක්ෂේත්රයන්හි තම ස්ථානය තවදුරටත් ශක්තිමත් කරලමින්, ජාත්‍යන්තරව වඩාත් විවිධාංගීකරණය වූ ශ්‍රී ලාංකික සමූහ ව්‍යාපාරයන් අතර ප්රමුඛස්ථානයක රැඳී සිටී.
2026 මූල්‍ය වර්ෂයේදී සමූහයේ මෙහෙයුම් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල රුපියල් බිලියන 71.5 දක්වා 49%කින් ඉහළ ගිය අතර, පෙර වර්ෂයේ එය රුපියල් බිලියන 47.9ක් විය. මෙම වර්ධනය සඳහා දළ ආදායම 28%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 430.3 දක්වා වර්ධනය වීම ප්‍රධාන වශයෙන් බලපා ඇත.
ක්ෂයවීම් සහ කාලික ණය නිදහස් කිරීම් වලට පෙර මෙහෙයුම් ලාභයද සැලකිය යුතු ලෙස වර්ධනය වී රුපියල් බිලියන 88.8 දක්වා ඉහළ ගියේය. පෙර වසරේ එය රුපියල් බිලියන 60.6ක් විය. මෙය සමූහයේ මූලික ව්‍යාපාරවල ඉහළ ආදායම් ඉපයීමේ හැකියාව සහ විවිධාංගීකෘත ව්‍යාපාරික වේදිකාවේ ඉහළ දායකත්වය පිළිබිඹු කරයි.
මෙම ප්‍රතිඵල මගින් LOLC සමූහය පරිමාණය, ජාත්‍යන්තර ව්‍යාප්තිය, මූල්‍ය විනය සහිත ක්‍රියාකාරකම් සහ පුනරාවර්තන මෙහෙයුම් ශක්තිය මත පදනම් වූ ව්‍යාපාර ආකෘතියක් සහිත ශ්‍රී ලංකාවේ වඩාත් ගෝලීයව ව්‍යාප්ත වූ විවිධාංගීකෘත සමූහ ව්‍යාපාරයක් බව නැවතත් තහවුරු කරයි.
ශක්තිමත් මෙහෙයුම් ලාභදායීතාවය ව්‍යාපාරික වේග ශක්තිය පිළිබිඹු කරයි.
2026 මූල්‍ය වර්ෂයේ කාර්යසාධනයේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ මෙහෙයුම් ලාභදායීතාවයේ දැවැන්ත වර්ධනයයි. මෙහෙයුම් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල රුපියල් බිලියන 23.6කින් ඉහළ ගොස් ඇති අතර, එය ප්‍රධාන ව්‍යාපාරික අංශවල ඉහළ දායකත්වය සහ සමූහය පුරා වැඩිදියුණු වූ මෙහෙයුම් කාර්යක්ෂමතාව මගින් මෙහෙයවනු ලැබීය.
දළ ආදායම රුපියල් බිලියන 430.3 දක්වා වර්ධනය වීම, සමූහයේ ආදායම් උපයන වත්කම් පදනමේ අඛණ්ඩ වර්ධනය සහ විවිධ ක්ෂේත්‍ර හා භූගෝලීය කලාප හරහා ආදායම් වර්ධනය ගොඩනැංවීමේ හැකියාව පෙන්නුම් කරයි.
ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 105.6 සිට රුපියල් බිලියන 119.9 දක්වා ඉහළ ගිය අතර, ආදායම රුපියල් බිලියන 109.2 සිට රුපියල් බිලියන 158.2 දක්වා වර්ධනය විය. දළ ලාභයද රුපියල් බිලියන 43.5 සිට රුපියල් බිලියන 61.4 දක්වා ඉහළ ගොස් සමූහයේ මෙහෙයුම් ශක්තිය තවදුරටත් ශක්තිමත් කර ඇත.
2026 මූල්‍ය වර්ෂයේ බදු වලට පසු ලාභය රුපියල් බිලියන 23.4ක් ලෙස වාර්තා වූ අතර, වාර්ෂික වෙනසට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ පෙර වර්ෂයේ හඳුනාගත් එක් වරක් පමණක් සිදුවූ ගනුදෙනු කිහිපයකි. එහෙත්, 49%කින් ඉහළ ගිය මෙහෙයුම් ප්‍රතිඵල මගින් සමූහයේ පුනරාවර්තන මෙහෙයුම් ලාභදායීතාවයේ ශක්තිය පැහැදිලිව පෙන්වයි.
මූල්‍ය සේවා තවදුරටත් ප්‍රධාන ආදායම් අංශය ලෙස කැපී පෙනේ.
පෙර වර්ෂයේ රුපියල් බිලියන 39.2ක් වූ මූල්‍ය සේවා අංශයේ මෙහෙයුම් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල 2026 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 51.7ක් වාර්තා කරමින් තවදුරටත් සමූහයේ ප්‍රධාන ආදායම් මූලාශ්‍රය බවට පත්ව ඇත. LOLC මූල්‍ය සේවා මෙහෙයුම් මේ වන විට ආසියාවේ රටවල් 7ක, මධ්‍යම ආසියාවේ රටවල් 3ක සහ අප්‍රිකාවේ රටවල් 11ක ඇතුළුව රටවල් 21ක් පුරා විහිදී ඇත. මෙලෙස කලාප රැසකට විහිදුනු සමූහයට භූගෝලීය විවිධාංගීකරණය, ඉහළ වර්ධන හැකියාවක් ඇති නැඟී එන වෙළෙඳපොළවලට ප්‍රවේශය සහ විවිධ ආර්ථික රටාවන් හරහා ණය ව්‍යාපාරය පුළුල් කිරීමේ හැකියාව ලබා දෙයි.
මූල්‍ය සේවා වත්කම් පදනම රුපියල් ට්‍රිලියන 1.09 සිට රුපියල් ට්‍රිලියන 1.36 දක්වා වර්ධනය වූ අතර, මෙය සමූහයේ මූලික ව්‍යාපාරික වේදිකාවේ පරිමාණය සහ ශක්තිය තවදුරටත් තහවුරු කරයි.
ණය ගුණාත්මකභාවය ලාභදායී වත්කම් වර්ධනයට සහාය වෙයි.
මූල්‍ය වත්කම් සම්බන්ධ ශුද්ධ හානි අලාභය රුපියල් බිලියන 18.8 සිට රුපියල් බිලියන 15.9 දක්වා පහත වැටීම, සමූහයේ ණය කළමනාකරණ ශක්තිය තහවුරු කරයි. එමෙන්ම අත්තිකාරම් සහ අනෙකුත් ණය රුපියල් බිලියන 751.4 සිට රුපියල් බිලියන 981.8 දක්වා වර්ධනය විය. වත්කම් වර්ධනය සමඟ හානි අලාභ අඩුවීම, මූල්‍ය විනයකින් යුත් ණය ප්‍රතිපත්ති, ප්‍රතිසාධන කළමනාකරණය සහ වගකීම් සහිත ණය කළඹ පාලනය පිළිබඳ පැහැදිලි සාක්ෂියකි.
නිෂ්පාදන හා වෙළෙඳාම් අංශයේ ලාභදායීතාවයේ විශාල ඉහළ යාමක්!
නිෂ්පාදන හා වෙළෙඳාම් අංශය 2026 මූල්‍ය වර්ෂයේදී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළේය.
මෙහෙයුම් ප්‍රතිඵල රුපියල් බිලියන 1.1 සිට රුපියල් බිලියන 9.2 දක්වා අට ගුණයකට වැඩි වර්ධනයක් වාර්තා කර ඇත. දළ ආදායම රුපියල් බිලියන 50.0 සිට රුපියල් බිලියන 76.6 දක්වා ඉහළ ගිය අතර, මෙහෙයුම් වියදම්වලට පෙර ලාභය රුපියල් බිලියන 14.7 සිට රුපියල් බිලියන 25.3 දක්වා වර්ධනය විය.
වතු වැවිලි සහ කෘෂිකර්ම අංශය නැවත ලාභ පෙන්නුම් කරයි.
වතු වැවිලි සහ කෘෂිකර්ම අංශය සැලකිය යුතු හැරවුම් ලක්ෂ්‍යයක් සලකුණු කරමින් 2025 මූල්‍ය වර්ෂයේ රුපියල් බිලියන 5.1ක මෙහෙයුම් අලාභයක සිට 2026 මූල්‍ය වර්ෂයේ රුපියල් බිලියන 1.7ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර ඇත. එහීදී දළ ආදායම රුපියල් බිලියන 55.2 සිට රුපියල් බිලියන 88.2 දක්වා වර්ධනය වූ අතර, මෙහෙයුම් වියදම්වලට පෙර ලාභය රුපියල් බිලියන 29.6 සිට රුපියල් බිලියන 48.5 දක්වා ඉහළ ගියේය.
LOLC සමූහය මේ වන විට ලොව ප්‍රමුඛතම තේ නිෂ්පාදන වේදිකාවක් ගොඩනඟා ඇති අතර, වාර්ෂිකව තේ කිලෝග්‍රෑම් මිලියන 100කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරමින් හෙක්ටයාර 100,000කට ආසන්න භූමි ප්‍රමාණයක් කළමනාකරණය කරයි. කෙන්යාව, ටැන්සානියාව, රුවන්ඩාව, චීනය සහ ශ්‍රී ලංකාව පුරා එහි වගා හා කෘෂිකර්ම මෙහෙයුම් පැතිර ඇත.
රක්ෂණ, විවේක හා දේපළ සංවර්ධන අංශවල ස්ථාවර දායකත්වය.
දිගුකාලීන හා සාමාන්‍ය රක්ෂණ අංශය 2026 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 1.5ක මෙහෙයුම් ප්‍රතිඵල වාර්තා කරමින් ස්ථාවර කාර්යසාධනයක් සනිටුහන් කළේය.
විවේක හා දේපළ සංවර්ධන අංශය පෙර වර්ෂයේ රුපියල් බිලියන 1.9ක මෙහෙයුම් ප්‍රතිඵලයට සාපේක්ෂව රුපියල් බිලියන 2.0ක වාර්තා කළ අතර, මෙම කාලය තුළ සමූහය මාලදිවයිනේ Barceló Whale Lagoon Maldives Resort හෝටලය ඇමෙරිකානු ඩොලර් මිලියන 57.5කට විකිණීමෙන් සැලකිය යුතු ආදායමක් උත්පාදනය කළේය. ඒ අතරම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් වන ඇල්ල ප්‍රදේශයේ Newburgh Ella හෝටලය විවෘත කරමින් සංචාරක අංශයේ ව්‍යාප්තිය තවදුරටත් පුළුල් කළේය.
එසේම Marina Port City ව්‍යාපෘතිය මේ වන විට ආරම්භ කර ඇති අතර, එය සමූහයේ දිගුකාලීන දේපළ සංවර්ධන සහ සංචාරක ව්‍යාපාරික සැලසුම් තවදුරටත් ශක්තිමත් කරයි.
ජාත්‍යන්තර මෙහෙයුම් සමස්ත ආදායම තවදුරටත් ශක්තිමත් කරයි.
LOLC සමූහයේ ජාත්‍යන්තර ව්‍යාපාරික මෙහෙයුම් සමූහයේ වටිනාකම් ගොඩනැංවීමට 2026 මුල්‍ය වර්ෂයේදී ද සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. රටවල් 21ක මූල්‍ය සේවා මෙහෙයුම් සමඟ, රටවල් 27ක් පුරා ව්‍යාප්ත මෙහෙයුම් ඊට අයත්වේ. එහීදී LOLC සමූහය ආසියාව, මධ්‍යම ආසියාව, අප්‍රිකාව සහ අනෙකුත් උපායමාර්ගික වෙළෙඳපොළවලට නිරාවරණය වූ බහුජාතික මෙහෙයුම් වේදිකාවක් ගොඩනඟා ඇත.
විදේශීය මෙහෙයුම්වල මූල්‍ය ප්‍රකාශන පරිවර්තනය කිරීමෙන් සමූහය අනෙකුත් සමස්ත ආදායම් යටතේ රුපියල් බිලියන 24.0ක ලාභයක් වාර්තා කළේය.
මෙය LOLC හි ජාත්‍යන්තර වත්කම් පදනමේ උපායමාර්ගික වටිනාකම පිළිබිඹු කරයි. මහා පරිමාන විදේශීය මෙහෙයුම් සහ විදේශ මුදල් ඒකකවලින් නාමිත වත්කම් පදනම හේතුවෙන්, සමූහය භූගෝලීය විවිධාංගීකරණයේ වාසිය මෙන්ම මුදල් ඒකක අගයන්හි වෙනස්වීම්වලට එරෙහි ශේෂ පත්‍ර ආරක්ෂාවකින් ද ප්රතිලාභ ලබයි.
විදේශ මුදල් පරිවර්තන ලාභය සමස්ත ආදායම ශක්තිමත් කළ අතර වසර තුළ සමූහයේ කොටස් හිමිකාරීත්ව අගය වර්ධනය වීමට දායක විය. එමෙන්ම, සමූහයේ සමස්ත මූල්‍ය පදනම හැඩගැස්වීමේදී LOLC හි ජාත්‍යන්තර මෙහෙයුම්වල ඉහළ යමින් පවතින වැදගත්කම ද එය අවධාරණය කරයි.
ඒ අනුව, LOLC හි ජාත්‍යන්තර ව්‍යාපාර ආකෘතිය සමූහයේ ප්‍රධාන මූල්‍ය ශක්තියක් බවට පත්ව ඇත. එය බහුවිධ වර්ධන වෙළෙඳපොළවලට නිරාවරණය ලබා දෙන අතර අවදානම් නිරාවරණය අවම කරමින්, විදේශීය මෙහෙයුම් සහ විදේශ මුදල් සම්බන්ධිත වත්කම් හරහා රුපියල් පදනමෙන් වටිනාකම් නිර්මාණය කිරීමේ හැකියාව තවදුරටත් වර්ධනය කරයි.
සංශෝධිත සමස්ත ආදායම ශක්තිමත් මූලික වර්ධනයක් පිළිබිඹු කරයි.
2026 මුල්‍ය වර්ෂය සඳහා සමස්ත ආදායම රුපියල් බිලියන 47.2ක් ලෙස වාර්තා විය. 2025 මුල්‍ය වර්ෂයේ සමස්ත ආදායම රුපියල් බිලියන 58.9ක් වූ අතර, එම වසර තුළ සමූහයේ ආයෝජන අත්පත් කර ගැනීම් සහ විකිණීම්වලින් ලැබූ රුපියල් බිලියන 54.0ක සැලකිය යුතු ලාභයක් සහ අත්හිටවූ මෙහෙයුම්වලින් සිදුවූ රුපියල් බිලියන 11.5ක පාඩුවක් ඇතුළත්විය.
මෙම ප්‍රධාන එක් වරක් පමණක් සිදුවන අයිතම ඉවත් කළ විට, 2025 මුල්‍ය වර්ෂය සඳහා මූලික සමස්ත ආදායම ආසන්න වශයෙන් රුපියල් බිලියන 16ක් විය. 2026 මුල්‍ය වර්ෂයේදී, ආයෝජන අත්පත් කර ගැනීම් සහ විකිණීම්වලින් ලැබූ රුපියල් බිලියන 2.1ක ලාභය ඉවත් කළ පසු, සංශෝධිත සමස්ත ආදායම ආසන්න වශයෙන් රුපියල් බිලියන 45ක් විය.
මෙය මූලික සමස්ත ආදායමේ තුන් ගුණයකට ආසන්න වර්ධනයක් නියෝජනය කරන අතර, සමූහයේ වර්තමාන වසරේ කාර්යසාධනයේ ශක්තිය සහ පුනරාවර්තන මෙහෙයුම් හා ජාත්‍යන්තර ශේෂ පත්‍ර වර්ධනයෙන් ලැබුණු ඉහළ දායකත්වය පැහැදිලිව පෙන්නුම් කරයි.
සංශෝධිත සමස්ත ආදායමේ වර්ධනය, වසර තුළ සමූහය විසින් නිර්මාණය කළ වටිනාකම මැන බැලීමේ ශක්තිමත් දර්ශකයකි. එය මෙහෙයුම් කාර්යසාධනය, ජාත්‍යන්තර වත්කම් පරිවර්තන ලාභ සහ ශේෂ පත්‍ර වර්ධනයේ ඒකාබද්ධ බලපෑම නිරූපණය කරන අතර, සමූහයේ මූල්‍ය ප්‍රගතිය පිළිබඳ වඩාත් සම්පූර්ණ දැක්මක් ඉදිරිපත් කරයි.
කොටසකට හිමි ශුද්ධ වත්කම් වටිනාකම රුපියල් 100කට වැඩියෙන් ඉහළ යයි.
සමූහයේ ශක්තිමත් කාර්යසාධනය එහි කොටසකට හිමි ශුද්ධ වත්කම් වටිනාකම (Net Asset Value per Share) තුළින්ද පිළිබිඹු විය. එය 2026 මාර්තු 31 වන විට රුපියල් 822.46 දක්වා ඉහළ ගොස් ඇති අතර, පෙර වසරේ එය රුපියල් 721.16ක් විය.
මෙය වසර තුළ කොටසකට රුපියල් 101.30ක වැඩිවීමක් නියෝජනය කරන අතර, රඳවාගත් ඉපැයීම්, විදේශ මුදල් පරිවර්තන ලාභ සහ සමූහයේ කොටස් හිමිකාරීත්ව පදනම තවදුරටත් ශක්තිමත් වීම ඊට සහාය වී ඇත.
ශුද්ධ වත්කම් වටිනාකමේ මෙම වර්ධනය ශේෂ පත්‍රය හරහා නිර්මාණය වූ වටිනාකමේ පැහැදිලි දර්ශකයක් වන අතර, මෙහෙයුම් කාර්යසාධනය, ජාත්‍යන්තර වත්කම් වර්ධනය සහ ආයෝජන කළඹ කළමනාකරණය මගින් කොටස් හිමියන්ගේ වටිනාකම අඛණ්ඩව වර්ධනය කිරීමේ සමූහයේ හැකියාව පෙන්නුම් කරයි.
සමස්ත වත්කම් රුපියල් ට්‍රිලියන 2.3 දක්වා පුළුල් වෙයි.
2026 මුල්‍ය වර්ෂය තුළ LOLC හි ශේෂ පත්‍රය තවදුරටත් පුළුල් වූ අතර, සමස්ත වත්කම් රුපියල් ට්‍රිලියන 2.32 දක්වා ඉහළ ගියේය. පෙර වසරේ එය රුපියල් ට්‍රිලියන 2.03ක් විය.
මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ අත්තිකාරම් සහ අනෙකුත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 230.4කින් වැඩිවී රුපියල් බිලියන 981.8 දක්වා ඉහළ යාමයි.
මෙය සමූහයේ මූල්‍ය සේවා ශේෂ පත්‍රයේ අඛණ්ඩ ව්‍යාප්තිය සහ ණය දීමේ වේදිකා හරහා ප්රාග්ධනය කාර්යක්ෂමව යෙදවීමේ හැකියාව පිළිබිඹු කරයි.
සමූහය සිය ආයෝජන සහ වත්කම් පදනම ද ශක්තිමත්ව පවත්වාගෙන ගිය අතර, ආයෝජන සුරැකුම්පත් වටිනාකම රුපියල් බිලියන 140.9 සිට රුපියල් බිලියන 169.6 දක්වා වැඩි විය. දේපළ, යන්ත්‍රෝපකරණ සහ උපකරණ වටිනාකම රුපියල් බිලියන 315.4ක් ලෙස වාර්තා විය.
මෙම ශේෂ පත්‍ර ව්‍යාප්තිය, LOLC විශාල, වඩාත් විවිධාංගීකරණය වූ සහ ඉහළ ජාත්‍යන්තර නිරාවරණයක් සහිත ව්‍යාපාරික වේදිකාවක් බවට පරිවර්තනය වෙමින් පවතින බව තහවුරු කරයි. එමෙන්ම, මූල්‍ය සේවා සහ උපායමාර්ගික මෙහෙයුම් ව්‍යාපාර අතර ප්රාග්ධනය කාර්යක්ෂමව වෙන් කරමින්, සමබර අරමුදල් ව්‍යුහයක් පවත්වාගෙන යාමේ හැකියාව ද එමඟින් අවධාරණය කරයි.
මූල්‍ය සේවා ප්රමුඛ සමූහයක් උදෙසා සංරක්ෂණාත්මක ණය මට්ටමක්.
ශේෂ පත්‍රය පුළුල් වූවත්, LOLC සමුහය පරීක්ෂාකාරී ණය ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගියේය.
2026 මාර්තු 31 වන විට සමස්ත කොටස් හිමිකාරීත්වය රුපියල් බිලියන 654.3ක් වූ අතර, පොලී සහිත ණය රුපියල් බිලියන 672.6ක් විය. ඒ අනුව, පොලී සහිත ණය ප්‍රමාණය සමස්ත කොටස් හිමිකාරීත්වයට ආසන්න වශයෙන් 1.0 ගුණයක් විය.
තැන්පතු වගකීම් (deposit liabilities) රුපියල් බිලියන 694.3ක් ලෙස වාර්තා වූ අතර, එය සමූහයේ මූල්‍ය සේවා ව්‍යාපාරවල සාමාන්‍ය අරමුදල් ප්‍රවාහය පිළිබිඹු කරයි. පොලී දරන ණය සහ තැන්පතු වගකීම් යන අංශ දෙකම සැලකිල්ලට ගත් විට, ඒවායේ සමස්ත කොටස් හිමිකාරීත්වයට අනුපාතය ආසන්න වශයෙන් 2.1 ගුණයක් වේ. දැවැන්ත මූල්‍ය සේවා වේදිකාවක් සහිත සමූහයක් සඳහා මෙය සංරක්ෂණාත්මක ණය මට්ටමක් ලෙස සැලකිය හැකිවේ.
ඒ අනුව, සමූහයේ ප්‍රාග්ධන ව්‍යුහය විශේෂයෙන් මූල්‍ය සේවා මෙහෙයුම් තුළ අඛණ්ඩ වත්කම් වර්ධනයට සහාය වීම සඳහා හොඳින් ස්ථානගත වී ඇත.
වඩාත් ශක්තිමත් ක්‍රියාත්මක කිරීමේ වේගයක් සහිත විවිධාංගීකරණය වූ වේදිකාවක්.
2026 මුල්‍ය වර්ෂයේ LOLC හි කාර්යසාධනය මගින්, වඩාත් ශක්තිමත් මෙහෙයුම් ලාභදායීත්වයක්, පුළුල් ආදායම් මූලාශ්‍ර, වැඩිදියුණු වූ හානි අවම කිරීමේ ප්රවණතා, විශාල මූල්‍ය සේවා ශේෂ පත්‍රයක් සහ ඉහළ ශුද්ධ වත්කම් වටිනාකමක් සහිත සමූහයක් පිළිබිඹු කරයි.
මූල්‍ය සේවා අංශය ආසියාව, මධ්‍යම ආසියාව සහ අප්‍රිකාව පුරා රටවල් 21ක මෙහෙයුම් සමඟ ප්‍රධාන ආදායම් උත්පාදක අංශය ලෙස පැවති අතර, සමුහය දැන් ලතින් ඇමරිකාවේ ද නව අවස්ථා සොයා බලමින් සිටී.
නිෂ්පාදන හා වෙළෙඳ අංශය ලාභදායීත්වයේ සැලකිය යුතු ඉහළ යාමක් වාර්තා කළ අතර, කෙන්යාව, ටැන්සානියාව, රුවන්ඩාව සහ චීනයේ මෙන්ම ශ්‍රී ලංකාව පුරා විහිදී ඇති LOLC ගෝලීය තේ වතු වැවිලි පදනම මඟින් වතු හා කෘෂිකාර්මික අංශය නැවත මෙහෙයුම් ලාභදායීත්වයට පැමිණ තිබේ.
රක්ෂණ, විවේක හා දේපළ වෙළෙඳාම් අංශ අඛණ්ඩ මෙහෙයුම් දායකත්වයක් ලබා දුන් අතර, විවේක අංශය ඇමෙරිකානු ඩොලර් මිලියන 57.5ක වටිනාකට Barceló Whale Lagoon Maldives Resort විකිණීම, Newburgh Ella ව්‍යාපෘතියේ ව්‍යාප්තිය සහ Marina Port City ව්‍යාපෘතියේ අඛණ්ඩ ප්‍රගතිය හරහා වටිනාකම් ඉහළ නංවමින් වර්ධනයක් පෙන්නුම් කළේය.
සමූහයේ විදේශීය මෙහෙයුම් සමස්ත ආදායම සහ කොටස් හිමිකාරීත්වය තවදුරටත් ශක්තිමත් කළ අතර, එය ගෝලීය ව්‍යාප්තියේ උපායමාර්ගික වටිනාකම යළි තහවුරු කළේය.
මුළු වත්කම් රුපියල් ට්‍රිලියන 2.32ක්, මුළු කොටස් හිමිකාරීත්වය රුපියල් බිලියන 654.3ක් සහ මෙහෙයුම් ප්‍රතිඵල රුපියල් බිලියන 71.5ක් සමඟ, LOLC සමූහය විශාල පරිමාණයක්, වැඩි ආදායම් හැකියාවක් සහ වඩාත් විවිධාංගීකරණය වූ ශේෂ පත්‍රයක් සමඟ සිය මීළඟ වර්ධන අදියර වෙත පිවිසෙයි.
2026 මූල්‍ය වර්ෂයේ ප්‍රතිඵල මගින් LOLC සමූහය ගෝලීය වශයෙන් විවිධාංගීකරණය වූ, මූල්‍ය සේවා ප්රමුඛ සමූහ ව්‍යාපාරයක් ලෙස තවදුරටත් පරිණාමය වෙමින්, ශක්තිමත් මෙහෙයුම් කාර්යසාධනය, මූල්‍ය විනය සහිත ශේෂ පත්‍ර වර්ධනය සහ කොටස් හිමියන් සඳහා අඛණ්ඩ වටිනාකම් නිර්මාණය කරමින් සිටින බව මනාව පෙන්නුම් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

