LOLC දසවැනි වරටත් ස්ලිම්-කැන්ටාර් ජනතා මූල්‍ය සේවා සන්නාමය ලෙස කිරුළු පලඳියි
LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී 2026 ‘ස්ලිම්-කැන්ටාර්’ ජනතා සම්මාන උළෙලේදී වසරේ “ජනතා මූල්‍ය සේවා සන්නාමය” ලෙස දස වැනි වරටත් කිරුළු පැලඳ තිබේ.
අඛණ්ඩ දසවැනි වසරටත් ලද මේ සුවිසල් ජයග්‍රහණය සැබැවින්ම ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. නොසැලෙන ජනතා විශ්වාසයේ දශකයක් සලකුණු කරන මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණය තුළින් ශ්‍රී ලාංකිකයන් අන් සියල්ලන් අභිභවා නිරන්තරයෙන් තෝරා ගන්නා මූල්‍ය සේවා සන්නාමය ලෙස LOLC නාමය ශක්තිමත් ලෙස ස්ථාපිත කරයි.
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM), සහ කැන්ටාර් මගින් පිරිනමනු ලබන ජනතා සම්මානවල විශේෂත්වය වන්නේ, සන්නාම ඇතුලාන්ත සහ විශ්ලේෂණ පිළිබඳ ගෝලීය ප්‍රමුඛයා වන කැන්ටාර් විසින් පවත්වනු ලබන ස්වාධීන පාරිභෝගික සමීක්ෂණ මගින් ඒවා තීරණය කිරීමයි. මෙම පිළිගැනීම මුළුමනින්ම පදනම් වන්නේ ජනතා දැක්ම, සන්නාම ඇගයීම සහ පාරිභෝගික විශ්වාසය මත නිසා එය සැබෑ ජනතා සම්බන්ධතාවක් සහිත සන්නාමයක් පිළිබඳ වඩාත් අව්‍යාජ මිනුම් දණ්ඩක් බවට පත් කරයි. දශකයක් තිස්සේ අවිවාදිතව “ජනතා මූල්‍ය සේවා සන්නාමය” ලෙස මෙම කීර්තිනාමය හිමිකරගැනීම, LOLC සියළුම ශ්‍රී ලාංකිකයන් සමග කල්පවත්නා සබඳතාවක් පවත්වා ගනිමින්, පරම්පරා ගණනක් උරුමවූ විශ්වසනීයත්වයකින්, ඔවුන්ගේ වෙනස් වන අවශ්‍යතා අනුව නිරන්තරයෙන් පරිණාමය වීමේ හැකියාව, පෙන්නුම් කරයි.
LOLC වසර ගණනාවක් මුළුල්ලේ සාම්ප්‍රදායික මූල්‍ය සේවා සැපයුම්කරුවෙකුගෙන් ඔබ්බට යමින් දිවයින පුරා පුද්ගලයින්, ව්‍යවසායකයින් සහ ප්‍රජාවන් උදෙසා විශ්වාසදායක හවුල්කරුවෙකු බවට පත්ව තිබේ. මූල්‍ය ප්‍රවේශය පුළුල් කරමින්, ඩිජිටල් නවෝත්පාදන සඳහා පුරෝගාමීත්වය සපයමින්, දිවයින පුරා විහිදුණු පැවැත්මක් සමඟින්, LOLC ජනතා අභිලාෂයන් සමඟ සමීපව පෙළගැසී ඇති බව, දශකයක් පුරා මෙලෙස පිළිගැනීමට ලක්වීමෙන් මනාව පිළිබිඹු වෙයි.
මූල්‍ය සේවාවෙන් ඔබ්බට ගිය LOLC, ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම ආයතනික සමාජ සත්කාර වැඩසටහන වන ‘දිවිසවිය’ තුළින් ප්‍රජාවන් සමඟ සබඳතා සවිමත් කර ඇත්තේ, වගකිවයුතු ආයතනික පුරවැසියෙකු ලෙස එහි භූමිකාව ශක්තිමත් කරමිනි. වඩාත්ම ඇවැසි අවස්ථාවන්හිදී සමාජයේ හදගැස්මට ප්‍රතිචාර දැක්වීම තුළින් LOLC සමූහයට ජනතාවට අර්ථවත් බලපෑමක් ඇතිකරමින් ඔවුන් සමග සුවිශේෂී ගැඹුරු සබඳතාවක් ගොඩනගාගැනීමට හැකිව තිබේ. එය බොහෝ සන්නාමයන්ට මෙතෙක් ළඟා කරගැනීමට නොහැකි වී ඇති ඉදිරි පියවරකි.
LOLC සමූහයට මංසලකුණක් වූ මෙම කීර්තිමත් සම්මානය පිළිබඳව අදහස් දක්වමින් LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී සමූහ කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා පැවසුවේ, "ජනතා මූල්‍ය සේවා සන්නාමය ලෙස අඛණ්ඩව වසර දහයක් කිරුළු පැළඳීම අසාමාන්‍ය ගෞරවයක් වන්නේ, එය අප සේවය සලසන ජනතාව තුළින් සෘජුවම ලැබෙන ප්‍රතිචාරයක් බැවිනුයි. ශ්‍රී ලාංකේය ජනතාව දශකයක් තිස්සේ සිය මූල්‍ය සහකරු ලෙස LOLC පිළිබඳ විශ්වාසය තබා ඇති අතර, එය අප කරන සෑම කාර්යයකදීම පදනම ලෙස පවතිනවා. අප මෙම ඓතිහාසික සන්ධිස්ථානය සමරද්දී, අවස්ථාවන් පුළුල් කිරීම, ශක්තිමත් මූල්‍ය ඇතුළත් කිරීමක් සහ ශ්‍රී ලාංකීය විශිෂ්ටත්වය ලොවට රැගෙන යාම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනවා" යනුවෙනි.
සන්නාමයක් ලෙස LOLC ලද මෙම පිළිගැනීම පිළිබඳව අදහස් දැක්වූ LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී හී ප්‍රධාන අලෙවි සන්නිවේදන නිලධාරී, සුසාන් බණ්ඩාර මහතා පැවසුවේ, "අව්‍යාජ ශ්‍රී ලාංකේය ජනතා හඬ පිළිබිඹු කරන අවස්ථාවක් බැවින් මෙම පිළිගැනීම විශේෂයෙන් අර්ථවත් වෙනවා. ඇස ගැටෙන සන්නාමයක් ලෙස පමණක් නොව සැබැවින්ම ජනතා අවශ්‍යතා සපුරාලන, ප්‍රවේශ විය හැකි සහ සමාජයේ සියළු කොටස් උදෙසා විශ්වාසදායක සන්නාමයක් ගොඩනැගීම පිළබඳ අපි සැම විටම අවධානය යොමු කරනවා. වසර දහයක් පුරා අඛණ්ඩව මෙම උත්කෘෂ්ඨ සම්මානය ජයග්‍රහණය කිරීම එම උත්සාහයේ ප්‍රතිඵලයක් මෙන්ම, අපගේ ගනුදෙනුකරුවන් සමඟ අප ඇතුළාන්තයෙන්ම ගොඩනඟා ඇති ශක්තිමත් සබඳතාවන් මූර්තිමත් කරනවා" යනුවෙනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
