IMF විස්තීරණ ණය පහසුකමේ හත්වන සමාලෝචන එකඟතාව
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ හත්වන සමාලෝචනය අවසන් කරමින් ජා.මූ. අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇත.
ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම සමාලෝචනය අනුමත කිරීමෙන් පසුව, ශ්‍රී ලංකාවට එ.ජ.ඩොලර් මිලියන 345ක පමණ මූල්‍යන පහසුකමක් සඳහා ප්‍රවේශය හිමිවනු ඇත.
ඒ අනුව, සාධනීය සාකච්ඡාවලින් අනතුරුව, දූත මෙහෙවර අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල කණ්ඩායම් විසින් එළෙඹෙන මූලික නිගමන ඇතුළත් ජා.මූ. අරමුදලේ කාර්ය මණ්ඩලයේ අදහස් අන්තර්ගතව ශ්‍රී ලංකාව සඳහා වන ජා.මූ.අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී එවන් පාජෝ(ර්)ජියෝ මහතා පහත ප්‍රකාශය නිකුත් කළේය.
“ජා.මූ. අරමුදලේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා බලධාරීන් ජා.මූ. අරමුදලේ වසර 4ක විස්තීර්ණ ණය පහසුකමෙහි හත්වන සමාලෝචනය පිළිබඳව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි අතර 2026 IVවන වගන්තිය යටතේ වන උපදේශනයට අදාළ සාකච්ඡා ද අවසන් කළේය. ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව සඳහා විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි) බිලියන 2.3ක් (එ.ජ. ඩොලර් බිලියන 3ක් පමණ) 2023 මාර්තු 20 දින අනුමත කරන ලදී.
“පහත කරුණු සපුරාලීම මත මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව සඳහා ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වනු ඇත: (i) මුදල් අමාත්‍යවරයා විසින් විස්තීර්ණ ණය පහසුකමෙහි පරාමිතීන්ට අනුකූලව 2027 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ (ii) බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ මූල්‍ය දායකත්වය තහවුරු කිරීම සඳහා මූල්‍යන සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රමාණවත් ප්‍රගතිය තක්සේරු කිරීම.
“විධායක මණ්ඩලයේ සමාලෝචනය සම්පූර්ණ කිරීමෙන් පසුව, ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක් (එ.ජ. ඩොලර් මිලියන 345ක් පමණ) ලබා ගැනීමට ප්‍රවේශය හිමිවනු ඇති අතර, ඒ අනුව, මෙම පහසුකම යටතේ ජා.මූ. අරමුදල මගින් මේ දක්වා ලබා දුන් මුළු මූල්‍ය ආධාර ප්‍රමාණය වි.ගැ.හි. බිලියන 2.032ක් (එ.ජ. ඩොලර් බිලියන 2.7ක් පමණ) වනු ඇත.
“අඛණ්ඩ කම්පන හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කැපී පෙෙනන ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇත. අඛණ්ඩව කාර්තු එකොළහක ශක්තිමත් වර්ධනයක් වාර්තා කරමින්, ආර්ථික ක්‍රියාකාරකම් 2026 වසරේ දෙවන කාර්තුවේ දී සියයට 4.2කින් වර්ධනය විය. මතුපිට උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී වාර්ෂික පදනම මත සියයට 8ක් ලෙස තවදුරටත් තනි ඉලක්කමක පවතී. දළ නිල සංචිත ඉහළ ගොස්, 2026 වසරේ අගෝස්තු මස අවසානයේ දී එ.ජ. ඩොලර් බිලියන 6.9ක් දක්වා ළඟා වී ඇත. බැංකු අංශයේ ප්‍රමාණවත් ප්‍රාග්ධන මට්ටමක් සහ ලාභදායීත්වයක් පවතී. 2026 වසරේ පළමු භාගයේ දී රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය ශක්තිමත්ව පැවති අතර ණය ප්‍රතිව්‍යුහගතකරණය බොහෝ දුරට අවසන් වී ඇත.
“කෙසේ වෙතත්, මැදපෙරදිග යුද්ධය පවතින කාල සීමාව සහ එහි තීව්‍රතාව, ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති සහ එල් නිනෝ සංසිද්ධියේ බලපෑම පිළිබඳ පවතින අවිනිශ්චිතතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අපේක්ෂා කරන මට්ටමට වඩා අහිතකර බලපෑම් ඇතිවීමේ අවදානමක් තවදුරටත් පවතී. කම්පනවලට නිරන්තරයෙන් නිරාවරණය වන පරිසරයක් තුළ සාර්ව ආර්ථික ස්ථායීතාව සුරක්ෂිත කිරීම සඳහා, මෙම වැඩසටහන යටතේ අත්කරගත් දුෂ්කර ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීමට විචක්ෂණශීලී ප්‍රතිපත්ති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහ දැඩි ප්‍රතිසංස්කරණ සිදුකිරීම අවශ්‍ය වේ.
“දීර්ඝ කාලයක් පවතින මැද පෙරදිග යුද්ධයට ප්‍රතිචාර වශයෙන්, රජය විසින් අවදානමට ලක්විය හැකි පාර්ශ්වයන් ආරක්ෂා කර ගනිමින්, ජාත්‍යන්තර ඉන්ධන මිල වෙනස්වීම්වලට අනුකූලව දේශීය ඉන්ධන මිල ගැලපීමට ඉඩ සැලසීම සහ පිරිවැය ආවරණ බලශක්ති මිලකරණය පවත්වාගෙන යෑම සිදු කළ යුතුය. රාජ්‍ය මූල්‍ය හා ණය තිරසරභාවය අවදානමට ලක්වීම, විශ්වාසය බිඳ වැටීම සහ යථාතත්ත්වයට පත්වීම ආපසු හැරවීම යනාදිය වැළැක්වීම සඳහා ලබාදෙන සහාය, ඉලක්කගත, අයවැයට අනුකූල, ප්‍රවේශමෙන් පිරිවැය තක්සේරු කරන ලද සහ කාලානුරූපී විය යුතුය. වඩාත් අවදානමට ලක්විය හැකි පාර්ශ්වයන් ආරක්ෂා කිරීම සඳහා දිළිඳුකම ඉලක්ක කරගත් මුදල් ආධාර භාවිත කළ යුතුය. සමාජ ආරක්ෂණ ජාලවල ආවරණය, ඉලක්කගත කිරීම සහ ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා වන ප්රයත්න දැඩි කිරීමේ අවශ්‍යතාව අඛණ්ඩ කම්පන මගින් අවධාරණය කෙරේ. මැදපෙරදිග යුද්ධයෙන් වඩාත් ප්‍රබල දෙවන වටයේ උද්ධමනකාරී බලපෑම් ඇති වූ අවස්ථාවක, උද්ධමන අපේක්ෂා ඉලක්කගත මට්ටමෙන් අපගමනය වීමේ අවදානම අවම කිරීම සඳහා මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම සඳහා සූදානමින් සිටිය යුතුය.
“ස්ථායීතාව තහවුරු කිරීමට සහ තිරසර ලෙස ආර්ථිකය වර්ධනය කර ගැනීමට පුළුල් ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය තුළ ස්ථාවරව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. මැදිකාලීන රාජ්‍ය ආදායම් උපායමාර්ගයක් සංවර්ධනය කිරීම හා ක්‍රියාත්මක කිරීම, බලධාරීන්ගේ ආදායම් රැස්කිරීමේ ප්රයත්නයන්ට සහාය වන අතරම, බදු ක්රමයේ කාර්යක්ෂමතාව සහ සාධාරණත්වය ඉහළ නංවාලීම සහ ආයෝජකයන්ට ප්‍රතිපත්තිමය ස්ථාවරත්වයක් ලබාදීම ද සිදු කරනු ඇත. දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිවලින් යථා තත්ත්වයට පත්කිරීම් සහ නැවත ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම ඇතුළුව, ප්‍රාග්ධන වියදම් ක්‍රියාත්මක කිරීමේ දී පවතින බාධක මගහරවා ගැනීම සඳහා රජයේ ආයෝජන කළමනාකරණය ශක්තිමත් කිරීමේ උත්සාහයන් අඛණ්ඩව සිදු කළ යුතුය.
“කම්පන අවශෝෂණය කර ගැනීමට සහ සංචිත රැස්කිරීමට සහාය වීම සඳහා විනිමය අනුපාතිකයේ ඉහළ නම්‍යශීලීභාවයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. මහජන විශ්වාසය ඉහළ නැංවීම සඳහා දූෂණ විරෝධී ව්‍යවස්ථාදායක රාමුවේ සුපිළිපන්බව ආරක්ෂා කිරීම ඉතා වැදගත් වේ. ශක්තිමත් සහ සියලු දෙනාටම ප්රතිලාභ සැලසෙන ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම උදෙසා වෙළෙඳාම ලිහිල් කිරීම, ව්‍යාපාර සහ කම්කරු රෙගුලාසි නව්‍යකරණය කිරීම, මූල්‍ය කටයුතු සඳහා ප්‍රවේශය පුළුල් කිරීම, ඩිජිටල් පොදු යටිතල පහසුකම් දියුණු කිරීම සහ යටිතල පහසුකම් පරතරය අවම කිරීම මගින් හිතකර පරිසරයක් නිර්මාණය කිරීම අවශ්‍ය වේ.
“2026 සැප්තැම්බර් 10 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරයෙන් අනතුරුව, කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරුන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ මාර්ගගත රැස්වීම් පවත්වන ලදී.
“සංචාරය අතරතුර ලබා දුන් විශිෂ්ට සාකච්ඡා සහ ශක්තිමත් සහයෝගීතාවය වෙනුවෙන් බලධාරීන්ට ස්තූතිවන්ත වන්නෙමු.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
