DFCC බැංකුව ’ගරුසරු’ විශ්‍රාම ණය පහසුකම ලක්ෂ 120ක් දක්වා නංවයි
DFCC "ගරුසරු" විශ්‍රාමික ණය පහසුකම හරහා ශ්‍රී ලාංකික විශ්‍රාමිකයන් සඳහා වන දීර්ඝකාලීන මූල්‍ය ප්‍රවේශය තවදුරටත් ශක්තිමත් කිරීමට DFCC බැංකුව පියවර ගෙන ඇත. මේ යටතේ රුපියල් 100,000 සිට රුපියල් ලක්ෂ 120ක් දක්වා වූ ණය මුදල්, වසර 15 ක් දක්වා වූ නැවත ගෙවීමේ කාලසීමාවන් සහිතව ලබා ගැනීමේ හැකියාව පවතී. මෙම මූල්‍ය යෝජනාව සැලසුම් කර ඇත්තේ සුදුසුකම් ලබන විශ්‍රාමිකයන් හට වැඩි මූල්‍ය ධාරිතාවක්, කළමනාකරණය කළ හැකි වාරික සහ දීර්ඝකාලීන ස්ථාවර පොලී අනුපාතයක් තෝරා ගැනීමේ පහසුකම ලබා දෙමිනි.
වෛද්‍ය වියදම් සහ නිවාස ප්‍රතිසංස්කරණ ඇතුළු වැදගත් ගෘහස්ථ හා පෞද්ගලික මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා "ගරුසරු" ණය පහසුකම භාවිත කළ හැකිය. ගනුදෙනුකරුවන්ට තරගකාරී ස්ථාවර හෝ විචල්‍ය පොලී අනුපාත විකල්ප අතරින් තෝරා ගැනීමට හැකියාව පවතින අතර, නැවත ගෙවීම් සකස් කර ඇත්තේ විශ්‍රාම වැටුප් ආදායමට අනුකූලවය. වසර 15 ක් දක්වා වූ නැවත ගෙවීමේ කාලසීමාවක් සහිත ස්ථාවර පොලී අනුපාත විකල්පය මගින් ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ මාසික ගෙවීම් පිළිබඳ වැඩි නිශ්චිතභාවයක් හිමි වන අතර, අනාගත පොලී අනුපාත වෙනස්වීම්වලින් ගෘහස්ථ අයවැය ආරක්ෂා කර ගැනීමටද එය උපකාරී වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ උප සභාපති/ පුද්ගලික බැංකු සේවා අංශ ප්‍රධානී අසිත පින්නදූව මහතා, "විශ්‍රාමිකයන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ ආදායමේ ස්ථාවරත්වය මෙන්ම විශ්‍රාමික දිවියේ නිශ්චිතභාවයේ වැදගත්කම ද හඳුනා ගන්නා මූල්‍ය පහසුකම්. "DFCC ගරුසරු" හරහා රුපියල් ලක්ෂ 120ක් දක්වා වූ මූල්‍ය පහසුකම්, නැවත ගෙවීමේ නම්‍යශීලීභාවය සහ වසර 15ක් දක්වා ස්ථාවර පොලී අනුපාත විකල්පයක් සමඟින් පිරිනමනු ලබන්නේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ වැදගත් මූල්‍ය වගකීම් කිසිදු පීඩනයකින් තොරව, විශ්වාසයෙන් යුතුව ඉටුකර ගැනීමට උපකාරී වන ආකාරයෙනුයි" යනුවෙන් පවසා සිටියේය.
මෙම ණය පහසුකම රජයේ විශ්‍රාමිකයන්, රාජ්‍ය විශ්‍රාම වැටුප් ලබන වැන්දඹුවන් සහ වැන්දඹු පුරුෂයන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ විශ්‍රාමිකයන් මෙන්ම සුදුසුකම් ලත් හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සඳහා ද විවෘත වේ. ඉල්ලුම් කරන අවස්ථාවේදී ඉල්ලුම්කරුවන් වයස අවුරුදු 74 ට අඩු විය යුතු අතර, වයස අවුරුදු 75 සපිරීමට පෙර ණය පහසුකම සම්පූර්ණයෙන්ම ගෙවා නිම කළ යුතුය.
"DFCC ගරුසරු" විශ්‍රාම ණය පහසුකම ඉතාමත් සරල ඉල්ලුම් කිරීමේ ක්‍රියාවලියක් සහ අවම ලේඛන අවශ්යතාවන්ගෙන් සමන්විත වේ. සුදුසුකම් ලබන විශ්‍රාමිකයන්ට තමන්ට ආසන්නතම DFCC බැංකු ශාඛාව හරහා ඉල්ලුම් කළ හැකිය. වැඩිදුර තොරතුරු www.dfcc.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක.
DFCC බැංකුව පිළිබඳව
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන DFCC බැංකුව 1955 වසරේදී ස්ථාපිත කරන ලද අතර, 1956 වසරේ සිටම එය කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි වී සිටී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන එය Fitch Ratings වෙතින් A (lka) ශ්‍රේණිය හිමි කරගෙන තිබේ. DFCC බැංකුව විසින් පාරිභෝගික, ආයතනික හා සුළු හා මධ්‍යම පරිමාණ බැංකු සේවාවන් මෙන්ම භාණ්ඩාගාර, ආයෝජන සහ වෙළඳ මූල්‍ය සේවා ඇතුළු සේවාවන් රැසක් පිරිනමනු ලබයි.
පාරිභෝගික කේන්ද්‍රීයත්වය හා තිරසාරත්වය උදෙසා මුල් තැන දෙන DFCC බැංකුව DFCC MySpace වැනි ඩිජිටල් සේවාවන් ඇතුළු ක්‍රම රාශියක් ඔස්සේ කාර්යක්ෂම හා සුරක්ෂිත ලෙස සිය සේවාවන් පිරිනමන අතර, දිවයින පුරා ශාඛා 133 ක්ද පිහිටුවා ඇත. මීට අමතර එම බැංකුවේ ගනුදෙනුකරුවන්ට LankaPay ජාලය හරහා ATM යන්ත්‍ර 5,500 කට අධික සංඛ්‍යාවක් භාවිතා කළ හැකි වේ.
තිරසාර මූල්‍යකරණය සහ පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධ පිළිගත් ප්රමුඛයෙකු වන DFCC බැංකුව, පාරිසරික බලපෑම් අවම කරමින් ආර්ථිකයේ දීර්ඝකාලීන ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා කැප වී සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
