2020 වසර තුළ වෙළෙඳ පොළ පොලී අනුපාතිකයේ සැලකිය යුතු අඩුවීමක් දක්නට ඇති බැවින්, 2020 වසරේදී සේවක අර්ථ සාධක අරමුදලේ (EPF) සාමාජිකයන් සඳහා 2019 සාපේක්ෂව සමාන හෝ සුළු අඩුවීමක් සහිත ප්රතිලාභ පොලී අනුපාතිකයක් ලබාදෙනු ඇතැයි මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම වාර්තාවක දැක්වේ.
එම වාර්තාව පෙන්වා දෙන පරිදි, 2019 වසරේදී සාමාජිකයන් සඳහා ගෙවූ පොලී අනුපාතිකය 9.25%ක් වූ අතර, 2018 වසරේ පොලී අනුපාතිකය 9.50%ක් විය. ඒ අනුව 2020 වසරේදී සාමාජිකයන් සඳහා ගෙවනු ලබන පොලී අනුපාතිකය 9.25%ක් හෝ ඊට වඩා අඩුවීම අනිවාර්යය වනු ඇත.
මේ අතර අරමුදලේ ආයෝජනයන්ගෙන් 90%කට වැඩි ප්‍රතිශතයක් රාජ්‍ය සුරැකුම්පත්වලින් සමන්විත වේ. ඒ අනුව අනාගත වෙළෙඳ පොළ පොලී අනුපාතිකයන්ගේ අඩුවීමක් මගින් මැදි කාලීනව ආයෝජන ප්‍රතිලාභයන්ට සැලකිය යුතු බලපෑමක් ඇතිවිය හැකි බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත්, සේවක අර්ථසාධක අරමුදලේ සමස්ත වත්කම් ප්‍රමාණය 2020 අගෝස්තු 31 වැනි දිනෙන් අවසන් වන මාස 12ක කාලපරිච්ඡේදය සඳහා රු.බිලියන 2,714 දක්වා 9.5%කින් වර්ධනය වී තිබේ. එමෙන්ම, සේවක අර්ථසාධක අරමුදලේ සමස්ත ආයෝජනයන්හි වටිනාකමද 9.7%කින් වර්ධනය වී ඇති අතර, එය 2020 වසරේ අගෝස්තු මස අවසානය වනවිට රු.බිලියන 2,712ක් විය.
මෙම ආයෝජන කළඹෙහි සංයුතිය 93.8%ක් රාජ්‍ය සුරැකුම්පත්වලින්ද, 2.3%ක් ව්‍යාපාර කොටස්වලින්ද, 1.5%ක් සාංගමික ණය උපකරණ, භාරකාර සහතික පත් සහ ප්රතිවිකුණුම්වලින් සමන්විත වූ අතර, 2.4%ක් ස්ථාවර තැන්පතුවලින්ද සමන්විත වී තිබේ.
2020 ජනවාරි සිට අගෝස්තු මස දක්වා කාලය සඳහා අරමුදලෙහි ඇස්තමේන්තුගත දළ ආයෝජන ආදායම රු.බිලියන 172.6ක් ලෙස වාර්තා වූ අතර, 2019 වසරේ අදාළ කාලපරිච්ඡේදය සමග සසඳන කළ මෙය 8.3%ක වර්ධනයකි.