2016 වර්ෂය සදහා ඇස්තමේන්තු කරනු ලැබ ඇති ආර්ථික වර්ධන වේගය 4.4%ක් බවත්, එසේම, 2016 වර්ෂයේ සිව්වැනි කාර්තුව සදහා ඇස්තමේන්තු කරනු ලැබූ ආර්ථික වර්ධන වේගය 5.3%ක් බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2016 සිව්වැනි කාර්තුව සහ 2016 වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තුකර නිකුත් කරමින් මෙම දත්ත අනාවරණය කරයි.
2016 වර්ෂය පුරාම අයහපත් කාලගුණික තත්ත්වයන් පැවතුණු බවත්, එම වර්ෂයේ දෙවන කාර්තුවේ පැවති ගංවතුර තත්ත්වයත්, අනෙකුත් කාර්තුවල පැවති නියගයත් කෘෂිකාර්මික අංශයේ පසුබෑමට හේතු වී ඇති බවද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
2016 වර්ෂය සදහා ස්ථාවර මිල (2010) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 9,012,026ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. 2015 වර්ෂයේ දී මෙහි අගය රුපියල් මිලියන 8,633,890 ක් විය.
2016 වර්ෂයේදළ දේශීය නිෂ්පාදිතයට කෘෂිකාර්මික කටයුතු විසින් දෙනු ලැබූ දායකත්වය 7.5%කි. කර්මාන්ත හා සේවා අංශ පිළිවෙලින් 27.1%ක සහ 57.0%ක දායකත්වයක් දළ දේශීය නිෂ්පාදිතය සඳහා ලබා දී ඇති අතර භාණ්ඩ මත අය කෙරෙන ශුද්ධ බදු දළ දේශීය නිෂ්පාදිතය සදහා 8.4%ක දායකත්වයක් ලබා දී ඇත.
2016 වර්ෂයේ දී කර්මාන්ත කටයුතු 6.7%ක සැලකිය යුතු වර්ධන වේගයක් වාර්තා කර ඇති අතර, එසේම සේවා කටයුතු 4.2%ක වර්ධන වේගයක් වාර්තා කරන ලද නමුත් කෘෂිකාර්මික කටයුතු වාර්තා කර ඇත්තේ 4.2%ක ඝෘණ වර්ධන වේගයක් බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.