2015දී අයවැය පරතරය අඩු කරනවා - අමුණුගම
2015 දී අයවැය පරතරය 4.6% දක්වා පහතට ගෙන ඒමට රජය සැලසුම් කර තිබෙන බව අන්තර්ජාතික මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම මහතා පවසා සිටියේය.
විසර්ජන පනත් කෙටුම්පත (2015) පළමු වැනි වර කියවීමේ දිනයේ විවාදය අද (25දා) පාර්ලිමේන්තුවේදී ආරම්භ වූ අවස්ථාවේදී ඊට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේය.
“මේ රටේ ආදායම හා වියදම අතර පරතරය අපි අඩුකරගෙන යනවා. 2009 දී 9.9% ක් වූ අයවැය පරතරය 2013 වනවිට 5.98% කටත්, 2014දී 5% කටත් අඩුකරගෙන තිබෙනවා.
රටේ ආර්ථික වර්ධනය පසුගිය වසරේ 7.3% කට පත් වුණා. මේ වසරේ මුල් මාසවල එය 7.4% ක මට්ටමක පවතිනවා. මේ වසර අවසන් වනවිට 7.8% ක ප්රශස්ත ආර්ථික වර්ධන වේගයක් රජය බලාපොරොත්තුවෙනවා. කෙටිකාලීන ආර්ථික සංවර්ධන රාමුව තුළ 7.5% සිට 8% දක්වා ආර්ථික වර්ධනයකට රට ගෙනයාමේ සැලසුමකට අනුව ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.
උද්ධමන වේගය 5.5% ත් 6%ත් අතර රඳවාගෙන තිබෙනවා. අපේ බලාපොරොත්තුව මේ රටේ ඒකපුද්ගල අදායම ඇ.ඩො. 7,000 සිට 10,000 දක්වා ගෙන යාමටයි. මේ රටේ විදේශ සංචිත කිසිදාක නැති තරමට ඇ.ඩො.බිලියන 10ක තත්ත්වයකට වර්ධනය කර තිබෙනවා. අපේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය ඉතාම සාර්ථක බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මුල්‍යායතන පිළිගෙන තිබෙනවා. මේ රටේ සංවර්ධන වේගය, එක් පුද්ගල ආදායම් වර්ධනය, උද්ධමනය අඩු මට්ටමක පැවතීම නිසා තමයි, අපේ බැඳුම්කරවලට ආයෝජන ලැබෙන්නේ. ඒ නිසා තමයි, අපට වේගයෙන් සංවර්ධන වීමට හැකි වී තිබෙන්නේ.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

