එක් දිනක් තුළ රුපියල් 1.50කින් එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ණය තොගයට අලුතින් රු.බිලියන 51ක් එකතු වී ඇති බවත්, ඒ මුදලින් කොළඹ කටුනායක අධිවේගී මාර්ගය වැනි මාර්ග එකහමාරක් සාදා නිමකිරීමේ හැකියාවක් ඇති බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය වීම වේගවත් වෙමින්, පෙරේදා (17දා) රු.165.14ක්ව පැවති ඩොලරයේ විකුණුම් මිල ඊයේ (18දා) රු.166.64ක් ලෙස දිනක් තුළ රු.1.50කින් අවප්‍රමාණය වීම ඇතුළු පසුගිය සති කිහිපය තුළ දක්නට ලැබුණු රුපියලේ කඩා වැටීම සම්බන්ධයෙන් 'අද' කළ විමසීමකට පිළිතුරු දෙමින් හිටපු මහ බැංකු අධිපතිවරයා විසින් මෙම අදහස් පළ කරන ලදී. එහිදී, වැඩිදුරටත් කතාකළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා,
"රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට හෝ වත්මන් රජයට කිසිදු විකල්ප ක්‍රමවේදයක් නැහැ. ජනතාව කිසිවක් කරකියා ගැනීමට නොහැකිව බලා සිටිනවා වගේම, ඒ අයත් බලාගෙන සිටිනවා. මේ තත්ත්වය පාලනය කරගෙන, විකල්ප ක්‍රමවේද යොදාගැනීමේ වගකීම ඇත්තේ ඔවුන්ටයි. නමුත්, ඒ කිසිවක් සිදුකළ නොහැකි අන්දමින්, ඔවුන්ට කටයුතු කළ හැකිව තිබූ ක්‍රමවේද සියල්ලමත්, සෑම පැත්තකින්ම මහ බැංකුව විසින්ම දැන් අහුරාගෙන අවසානයි.
ඔවුන්ට පොලී අනුපාතය වැඩි කිරීමට හැකියාවක් නැහැ. මන්දයත්, දැනටමත් පොලී අනුපාතය පවතින්නේ අහස උසටයි. කිසිම අයෙකුට ව්‍යාපාරයක් කිරීමට බැරි තැනට පොලී අනුපාතය වැඩිවෙලා. විදේශයන්ගෙන් මුදල් ගලා ඒමක් දක්නට නැහැ. රටේ පැවතිය යුතු විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු කරගැනීම ඊට හේතුවයි. ඒ නිසා කිසිම අයෙක් මේ රටට ඩොලර් එකක්වත් ගෙනැවිත් ආයෝජනය කිරීමට සූදානම් නැහැ.
අනෙක් පැත්තෙන්, මහ බැංකුවේ ඇති සංචිත ප්‍රමාණයක්වත් පාවිච්චි කිරීමට ඒ අයට ශක්තියක් නැහැ. මන්දයත්, ඒ සංචිත සියල්ලම ඉතා දැවැන්ත පොලියට ණයට අරගෙන ඇති සංචිතයි. හතර වැනි කාරණාව නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන්ට ලබාදී ඇති නියෝගයකට අනුව, සංචිතයේ ඇති ඩොලර් එකක් හෝ පාවිච්චි කිරීම අහුරා අවසානයි.
මේ සියල්ල එකතු වූ විට, මහ බැංකුව සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇති බව මුළු රටම වගේම, මුළු ලෝකයම දැන් දන්නවා. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ඉදිරිපත් වීමට ඒ අයට බලයක් හෝ ශක්තියක් නැහැ. එක පැත්තකින් මහ බැංකුව බලාගෙන ඉන්නවා. අනෙක් පැත්තෙන් රජය බලාගෙන ඉන්නවා. ඔවුන් බලාගෙන සිටියදී ඩොලර් එක කඩාගෙන ඉහළ නඟිනවා.
ඊයේ (18දා) එක් දිනක් තුළ රු.1.50කින් ඩොලර්යට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වුණා. එක රුපියලක් අවප්‍රමාණය වනවිට රු.බිලියන 34ක් අපේ ණය තොගයට එකතු වෙන්නේ, කිසිම අලුත් සම්පතක් රටට එකතු වන්නේ නැතිවයි. මෙතැන රු.1.50කින් අවප්‍රමාණය වුණා යැයි කියන්නේ, රු.බිලියන 51ක් පෙරේදා සිට ඊයේ වනවිට අපේ ණය තොගයට අලුතින් එකතු වුණා කියන අභාග්යයයි. ඒ මුදලින් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය වගේ මාර්ග එකහමාරක් සාදා නිමකිරීමේ හැකියාවක් පවතිනවා.
රුපියල අවප්‍රමාණය වීම නිසා මේ විදියට ණය තොගයක් අඛණ්ඩව අප එකතු කරගෙන යනවා. අපේ සමස්ත ආර්ථිකයම විනාශ වෙන තැනකට දැන් පැමිණ තිබෙනවා. ඇස් පනාපිටම රට විනාශ කරන්නේ නැතිව, කරන්න පුළුවන් කෙනෙකුට භාරදීලා යන එක හොඳයි කියල, අපිට වඩා හඬ නඟා රටේ මහජනතාව පවසන දිනය වැඩි ඈතක නොවෙයි" යනුවෙන් සඳහන් කළේය.