ශ්‍රී ලංකා මහ බැංකුව යාපනයේ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කරයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව අතර ඩිජිටල් ගෙවීම් ක්‍රම පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් 2026 අගෝස්තු මස 07 සහ 08 යන දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 7.00 දක්වා යාපනය කාර්ගිල්ස් චතුරශ්‍රයේදී ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනක් පවත්වා තිබේ.
මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන් මහතා සහභාගී වී ඇත. එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. පිරතීපන් මහතා, බැංකු, බැංකු නොවන මූල්‍ය ආයතන සහ ජාතික ගෙවීම් ජාලයේ මෙහෙයුම්කරු වන ලංකාපේ (පුද්ගලික) සමාගම (ලංකාපේ) නියෝජනය කරන නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්ව තිබේ.
මෙම වැඩසටහන, ‘ඩිජිටල් ගෙවීම් තුළින් අනාගතය හැඩගන්වමු’යන තේමාව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය ආයතන සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ එක්ව දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන ජාතික ප්‍රවර්ධන වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරකි. මීට පෙර හම්බන්තොට, නුවරඑළිය, දඹුල්ල, කුරුණෑගල සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල මෙවැනි වැඩසටහන් සාර්ථකව පැවැත්වූ අතර, ඒවා මඟින් ඩිජිටල් ගෙවීම් පිළිබඳ පුළුල් දැනුවත්භාවයක් ඇති කිරීමටත්, ව්‍යාපාරිකයන්ට හා මහජනතාවට ඒවායේ පහසුව සහ ප්රතිලාභ සෘජුව අත්විඳීමටත් අවස්ථාව සැලසුණි.
මෙම වැඩසටහනේදී බැංකු, මූල්‍ය සමාගම් සහ ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් සේවා සපයන්නන් ඇතුළු මූල්‍ය ආයතන විසින් මහජනතාවට විවිධ ඩිජිටල් ගෙවීම් සේවාවන් සඳහා ලියාපදිංචි වීම සහ ඒවා කාර්යක්ෂමව භාවිත කිරීම සඳහා පුද්ගලික මාර්ගෝපදේශනය සහ සහාය ලබාදී ඇත. එමෙන්ම, මූල්‍ය ආයතන සහ ලංකාපේ එක්ව යාපනය නගරයේ ව්‍යාපාරික ආයතන වෙත ගොස් LANKAQR ගෙවීම් අත්පත් කරගැනීමේපහසුකම ලබාදීමේ විශේෂ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

