ශ්‍රී ලංකාව සහ ලිතුවේනියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා වසර 30යි
ලිතුවේනියා ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 30ක් සපිරීම 2026 වසරේදී අගෝස්තු මස 20 වැනි දිනට සපිරෙයි.
මෙම සුවිශේෂී සන්ධිස්ථානය, දෙරට අතර දශකයක් පුරා වර්ධනය වූ මිත්‍රත්වය, අන්‍යෝන්‍ය ගෞරවය, ඵලදායී සම්බන්ධතා සහ වැඩිදියුණු වෙමින් පවතින සහයෝගිතාව තවත් ශක්තිමත් කිරීමට ඉමහත් පිටුවහලක් වනු ඇති බව ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය පෙන්වා දෙයි.
ලිතුවේනියාව ස්වාධීන රාජ්‍යයක් ලෙසින් ස්ථාපිත වූ පසු ශ්‍රී ලංකාව අතර නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතා 1996 අගෝස්තු 20 දින ස්ථාපිත කරන ලදී. මෙම වැදගත් සංවත්සරය, පසුගිය දශක තුන තුළ අත්කරගත් ප්‍රගතිය පිළිබඳව අවධානය යොමු කිරීමට පමණක් නොව, රාජ්‍යතාන්ත්‍රික කටයුතු, සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය, වාණිජ කටයුතු, ආයෝජන, ඩිජිටල් නවෝත්පාදනය, තිරසාර සංවර්ධනය, සංස්කෘතිය සහ සාමාජීය මෙන්ම මානව සබඳතා යන ක්ෂේත්රවල නව සහයෝගිතා පරිච්ඡේදයක් දෙස අනාගතවාදීව බැලීමටද අවස්ථාවක් සලසයි.
මෙම සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ විශේෂ සුබ පැතුම් පණිවිඩයකින්, ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු තානාපති ඩයනා මිස්කෙවිචෙනෙ මහත්මිය ශ්‍රී ලංකා ජනතාවට සහ ශ්‍රී ලංකා රජයට සිය හෘදයාංගම සුබ පැතුම් සහ උණුසුම් සුභාශංසන මෙසේ පළ කර සිටියි.
“පසුගිය දශක තුන තුළ, අප දෙරට අන්‍යෝන්‍ය ගෞරවය, විශ්වාසය සහ ඵලදායී සහයෝගිතාව මත පදනම් වූ ශක්තිමත් සහ මිත්‍රශීලී සබඳතාවක් ගොඩනගාගෙන තිබෙනවා. මෙම වැදගත් සන්ධිස්ථානය සමරන අතරම, අපේ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අනාගතය දෙස අපි විශ්වාසයෙන් සහ සුබවාදීව බලා සිටිනවා” යැයි තානාපතිනිය පැවසුවාය.
ඩිජිටල් නවෝත්පාදනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, මූල්‍ය තාක්ෂණය හෙවත් FinTech, සයිබර් ආරක්ෂාව, තිරසාර සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය, වෙළඳාම සහ ආයෝජන ඇතුළු ක්ෂේත්රවල ශ්‍රී ලංකාව සමඟ සහයෝගිතාව පුළුල් කිරීමට ලිතුවේනියාව කැපවී සිටින බවද තානාපතිනිය වැඩිදුරටත් අවධාරණය කළාය.
“අප දෙරට එක්ව කටයුතු කිරීමෙන්, දෙරටේම සමෘද්ධියට සහ ජනතාවගේ යහපැවැත්මට දායක වන නව අවස්ථා උදා කර ගත හැකි බව අපි විශ්වාස කරනවා” යැයි ඇය සිය සුබ පැතුම් පණිවුඩයේ සටහන් කර සිටියාය.
කොළඹ පිහිටි ලිතුවේනියානු කොන්සල් කාර්යාලය විසින් සිදුකරන කාර්යභාරය පිළිබඳවද තානාපතිනිය ඉහළ ඇගයීමක් පළ කළාය. දෙරටේ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීම සහ සංචාරක කර්මාන්තය, ශාස්ත්‍රීය හා අධ්‍යාපනික හුවමාරු සහ ව්‍යාපාරික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා එම කාර්යාලය ලබාදෙන දායකත්වය ඇය විශේෂයෙන් සඳහන් කළාය.
“අප දෙරටේ ජනතාව අතර සමීප සබඳතා වර්ධනය කිරීමටත්, සංචාරක කර්මාන්තය, ශාස්ත්‍රීය හා අධ්‍යාපනික හුවමාරු සහ ව්‍යාපාර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමටත් කොළඹ ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සිදුකරන කාර්යභාරය පිළිබඳව මම ඉතා ආඩම්බර වෙනවා” යැයි ඇය පැවසුවාය.
මෙම සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ සිය සුබ පැතුම් පණිවිඩයෙන්, ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල්වරයා ලෙසින් කටයුතු කරන ආර්.එම්. මනිවන්නන් මහතා මෙම අවස්ථාව, දෙරට අතර දශක තුනක් පුරා වර්ධනය වූ මිත්‍රත්වය, අන්‍යෝන්‍ය ගෞරවය සහ අඛණ්ඩව වර්ධනය වන සහයෝගිතාව පිළිබඳව සිහිපත් කිරීමට ලැබෙන අතිශය වැදගත් අවස්ථාවක් ලෙස විස්තර කළේය.
“ලිතුවේනියා ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා වසර 30ක් සපිරීම සමරන මේ මොහොතේ, අප දෙරට අතර දශක තුනක් පුරා වර්ධනය වූ මිත්‍රත්වය, අන්‍යෝන්‍ය ගෞරවය සහ අඛණ්ඩව වර්ධනය වන සහයෝගිතාව පිළිබඳව සිහිපත් කිරීමට ලැබීම ගෞරවයක්” යැයි ඔහු සඳහන් කළේය.
1996 අගෝස්තු 20 දින විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කළ දා සිට, ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව පොදු වටිනාකම්, ඵලදායී සංවාදය සහ සාමය, ප්රජාතන්ත්රවාදය සහ තිරසාර සංවර්ධනය සඳහා වූ කැපවීම මත පදනම් වූ අර්ථවත් හවුල්කාරිත්වයක් ගොඩනගාගෙන ඇති බව සඳහන් කරන කොන්සල්වරයා, ලිතුවේනියාවේ ඩිජිටල් තාක්ෂණ, FinTech, සයිබර් ආරක්ෂාව, ජීව විද්‍යා ක්ෂේත්‍ර සහ ලේසර් තාක්ෂණය සම්බන්ධ ජයග්‍රහණ, ශ්‍රී ලංකාවේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම, සංස්කෘති සම්පන්නභාවය සහ ආර්ථික හැකියාවන් සමඟ ඒකාබද්ධ කරමින්, අනාගත සහයෝගිතාව සඳහා පවතින විශාල විභවයද අවධාරණය කළේය.
“වෙළඳාම, සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය, නවෝත්පාදනය, තිරසාරභාවය සහ ජනතා-ජනතා හුවමාරු යන ක්ෂේත්රවල සහයෝගිතාව පුළුල් කිරීමට ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාවට බොහෝ අවස්ථා තිබෙනවා” යැයි මනිවන්නන් මහතා සිය සුබ පැතුම් පණිවුඩය තුළ සඳහන් කළේය.
දෙරටේ රජයන්, ආයතන, ව්‍යාපාර, විශ්වවිද්‍යාල සහ ප්‍රජාවන් අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ලිතුවේනියා ජනරජයේ තානාපති කාර්යාලය සහ කොන්සල් කාර්යාලය අඛණ්ඩව කැපවී සිටින බවද ඔහු යළි තහවුරු කළේය.
අවසානයේදී, ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය ශක්තිමත් කිරීමට දායක වූ දෙරටේ රජයන්, රාජ්‍යතාන්ත්‍රික හවුල්කරුවන් සහ සියලු පාර්ශව වෙත කොන්සල්වරයා සිය කෘතඥතාව පළ කළේය.
“ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය, දිගුකාලීන සාමය, සමෘද්ධිය සහ අනාගත පරම්පරාවන් සඳහා පොදු අවස්ථා සමඟ අඛණ්ඩව වර්ධනය වේවා” යැයි ඔහු පවසා සිටියේය.
පසුගිය දශක තුන තුළ, ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය ගෞරවය, ජාත්‍යන්තර සහයෝගිතාව, සංස්කෘති අවබෝධය සහ ජනතා-ජනතා සුහදතාව මත පදනම් වූ මිත්‍රශීලී සබඳතා පවත්වාගෙන ගොස් ඇත. භූගෝලීය වශයෙන් දුරස්ථ රටවල් දෙකක් වුවද, ශක්තිමත් ජාති අනන්‍යතාවන්, සංස්කෘති සම්ප්‍රදායන්, අභියෝග ජය ගැනීමේ හැකියාව සහ ඵලදායී ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් ගොඩනැගීම පිළිබඳ විශාල ව්‍යාපෘතීන් ප්‍රමාණයක් දෙරට අතර ක්‍රියාත්මක කෙරිණි.
යුරෝපා සංගමයේ සාමාජික රටක් වන ලිතුවේනියාව, ඩිජිටල් නවෝත්පාදනය, FinTech, සයිබර් ආරක්ෂාව, ජීව විද්‍යා ක්ෂේත්‍ර සහ උසස් තාක්ෂණයන්හි ප්‍රගතිය සඳහා පිළිගැනීමට ලක්ව ඇත. ඉන්දියන් සාගරයේ උපායමාර්ගික ස්ථානය පිහිටි ශ්‍රී ලංකාව, සංස්කෘති උරුමය, ජෛව විවිධත්වය, සංචාරක හැකියාව, නිපුණ මානව සම්පත සුවිශේෂිතත්වයක් උසුලයි. දෙරටේ සහයෝගීතාවය තුළ රජයන් අතර මෙන්ම ජන සමාජයන් හා ව්‍යවසායකයින් අතරද ඇති සබඳතාව තවත් ශක්තිමත් කර විශාල ව්‍යාපෘතීන් ප්‍රමාණයක් සිදු කිරීමටද අපේක්ෂා කෙරේ.
ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව මෙම වැදගත් සන්ධිස්ථාන සැමරුම සනිටුහන් කරන මේ මොහොතේ, දෙරටටම වඩාත් වැදගත්, ප්‍රායෝගික, සියලු පාර්ශව ඇතුළත් සහ අනාගතය ඉලක්ක කරගත් සබඳතා ඔස්සේ නව්‍ය ව්‍යාපෘතීන් රැසක් දියත් කිරීමට සැලසුම් කොට තිබේ. එමගින් රජයන්, රාජ්‍යතාන්ත්‍රික ආයතන, ව්‍යාපාර, විශ්වවිද්‍යාල, ප්‍රජාවන් සහ පුරවැසියන් අතර වඩාත් ශක්තිමත් සම්බන්ධතා ඇති කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම සුවිශේෂී ලිතුවේනියානු හා ශ්‍රී ලංකා නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයේ 30 වැනි සංවත්සරය යනු දැනටමත් ගොඩනැගී ඇති මිත්‍රත්වය සැමරීමක් පමණක් නොව, ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව අතර අනාගත සහයෝගිතාවේ ඊළඟ පරිච්ඡේදය හැඩගස්වා ගැනීමේ වැදගත් අවස්ථාවක්ද වන බව ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

